උණ හැදුන ගර්භනී මව්වරුන් පළමු දිනම රෝහල් ගත කරන්න

උණ හැදුන ගර්භනී මව්වරුන් පළමු දිනම රෝහල් ගත කරන්න

March 22, 2019   11:39 am

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ වැළඳුණු මවුවරු රෝගී වූ පළමු දිනයේම රෝහල් ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.

මෙම දිනවල පැතිර යන ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වැළඳුනු ගර්භණී මවුවරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග්‍ර සංකූලතා වලට ලක්වීමේ අවදානමක්ද පවතියි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ආවේක්ෂණ දත්ත වලට අනුව ඉන්ෆ්ලුවෙන්සාව නියුමෝනියාව නිසා මෙම වසරේ මාතෘ මරණ 2ක් මේ වන විට වාර්තා වී ඇති අතර  2018 වසරේදී ගර්භණි කාන්තාවන් 11ක් නියුමෝනියාව නිසා මිය ගියහ.

2017 වසරේ දී ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා නිසා ගර්භණී මවුවරු 41කට ජිවිත අහිමි විය.

ගර්භණී මවුවරුන්ට සෙම්ප්‍රතිශ්‍යා, උණ රෝග ලක්ෂණ ඇති අය අසළට යාමෙන් සහ වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථාන වල රැඳීමෙන් වළකින ලෙසටත් නිවැරැදි ශ්වසන ස්වාස්ථතාවයන් අනුගමනය කරන ලෙසටත් උපදෙස් ලබා දී ඇත.

උණ වැළඳුණු ගර්භණී හෝ පසුප්‍රසව මවුවරු පළමු දිනයේම රෝහල්ගත කිරීමෙන් එම මවුවරුනට විශේෂිත ප්‍රතිකාර ලබා දිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසා සිටියි.

එවැනි මවුවරුන් පළමු දිනයේම රෝහල් ගත කිරීමට සියලුම වෛද්‍ය ආයතන වලට, රජයේ සහ පුද්ගලික අංශයේ වෛද්‍යවරුන්ට, බාහිර රෝගී අංශ වලට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට අදාළ උපදෙස් මේ වනවිටත් නිකුත් කර ඇත.