වහලය ළඟින්ම ගිය නිසා බය වෙලා

වහලය ළඟින්ම ගිය නිසා බය වෙලා

November 8, 2018   04:01 pm

දින කීපයක් තිස්සේ මාරවිල, මහවැව, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය යන ප්‍රදේශ වල සැරිසරණ හෙලිකොප්ටර් යානයක් හේතුවෙන් එම ප්‍රදේශ වල ජනතාව භීතියට පත්ව තිබේ. 

පෙරවරු 9.00ත් 10.00ත් අතර කාලය තුළ පැමිණෙන මෙම හෙලිකොප්ටර් යානය ඉතාමත්ම පහළින් පියාසර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ පාසල් කීපයක දරුවන්ද කලබලයට පත්ව ඇති අතර ඊයේ(07) වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයට සමීපවද, අද (08) මහවැව මහා විද්‍යාලයට සමීපයෙන්ම මෙම හෙලිකොප්ටර් යානය ගමන් කර තිබේ.    

තම පාසලේ වහළයට ආසන්නයෙන් ගමන් කරන හෙලිකොප්ටර් යානය දැක මහවැව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් කලබලයට පත්ව ඇති අතර පසුව එම දරුවන්ගේ මව්පියන් විසින් මේ බව මාරවිල පොලීසියට දැනුම් දීමටද කටයුතු කර තිබේ.    

ගමන් කර ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක්ද, එසේත් නැත්නම් පුද්ගලික ආයතනයකට අයත් එකක්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.