සල්ලි දීලා පොලිසියෙන් තෑගි ගත්ත ළමයි

සල්ලි දීලා පොලිසියෙන් තෑගි ගත්ත ළමයි

November 8, 2018   02:20 pm

කාණුවක වැටී තිබු මුදල් සහ ජංගම දුරකථනයක් සහිත මුදල් පසුම්බියක් අහුලාගත් පාසල් සිසුවියන් දෙන්නෙක් එම මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාර දීම සඳහා හැටන් පොලීසියට භාර දුන් බව හැටන් පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එල්.එම්.ජෙමිල් මහතා පැවසීය. 

හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන මොහාමඩ් නවුෂාඩ් හම්නා සහ ඒ.එස් පවිත්‍රා යන සිසුවියන් දෙදෙනා ඊයේ(07) පාසල නිම වී නිවස කරා  යමින් සිටියදී පාසල අසල කාණුවක වැටී තිබූ මුදල් පසුම්බියක් අහුලාගෙන එය පරීක්ෂා කිරිමේදි එය තුල මුදලින් රුපියල් නවදහසක් සහ රුපියල් පහලොස්දහසක් පමණ වටින ජංගම දුරකථනයක් තිබෙන බවට තහවුරු වීමෙන් පසු එම සිසුවියන් දෙදෙනා ඊයේ (07) එම මුදල් පසුම්බිය හැටන් පොලීසියට භාර දි තිබේ. 

හැටන් විල්ෂ්‍රඩ්පුර ප්‍රදේශයේ පදිංචි සුසාන්ති රෝහාන් මහත්මිය ඉකුත් මස 27 වෙනිදා පාසල නිමූ තම දියණිය රැගෙන යාමට පැමිණි අවස්තාවේ තමා සන්තකයේ තිබු මුදල් පසුම්බිය නැති වු බවට හැටන් පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් අනුව මුදල් පසුම්බියේ අයිතිකරු සොයා ගැනීමට හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සමත් වි තිබේ.  

එම පාසලේ නියෝජ්‍යය විදුහල්පතිනිය වන ලොගේස්වරි ධනපාලන් මහත්මිය සහ එම පාසල් සිසුවියන් දෙදෙනා අද (08) හැටන් පොලීසියට කැඳවා ඔවුන් ඉදිරියේදි මුදල් පසුම්බිය අයිතිකාරිනියට ලබාදීමට හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කලේය. 

පාසල් සිසුවියන් වශයෙන් තමන්ට අයිති නොවන මුදල් පසුම්බියක් අයිතිකරු සොයා භාර දීමට සිදුකල උදාර ක්‍රියාවට හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එම සිසුවියන් දෙදෙනාට සිය ස්තූතිය පල කරමින් තෑගි පාර්සල් ලබාදීමට කටයුතු කලේය.