ප්‍රශ්නෙ උතුරෙද දකුණෙද අදාළ නෑ-අපි හැම දේකටම පෙනී සිටිනවා

ප්‍රශ්නෙ උතුරෙද දකුණෙද අදාළ නෑ-අපි හැම දේකටම පෙනී සිටිනවා

October 11, 2018   01:57 pm

ජනතාවගේ ප්‍රශ්නයක දී එය උතුරේද දකුණේද නැත්නම් තවත් තැනකද කියා අහක නොදමන බව උතුරු පළාත් හිටපු මන්ත්‍රී ඒ.කේ.සිවාජීලිංගම් මහතා පවසයි.

සිවාජීලිංගම් මහතා මේ බව පවසා සිටියේ ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා “පිරිසිදු පුත්තලමක්“ සංවිධානය විසින් පවත්වමින් තිබෙන උපවාසයට සහ ජනතාවට සහාය පළ කිරිම සඳහා ඊයේ (10) එක්වු අවස්ථාවේ දීය.

අරුවක්කාඩු කසල අංගනය හේතුවෙන් පුත්තලම කලපුවට සහ අනිකුත් ගම්මාන ගනනාවක හානි සිදුවන බවත් ඒ හේතුවෙන් මෙම කසල අංගනය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමින් පිරිසිදු පුත්තලමක් සඳහා වු සංවිධානය පවත්වන උපවාසය 12 දිනය ගත වී ඇති බව සංවිධායකයින් පවසයි. 

මෙම අවස්ථාවට හිටපු මන්ත්‍රී සිවාජීලිංගම් මහතා සමඟ උතුරු පළාත් සභා මන්ත්‍රී කේසවන් සජන්තන් මහතා සමඟ තවත් උතුරේ දේශපාලඥයින් කිප දෙනෙකුද සහභාගි වි තිබුණි.

එසේම පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස්, වයඹ පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් නියාස් යන මහත්වරුන් එක්ව තිබුණි.

 එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු එම්.කේ .සිවාජීලිංගම් මහතා මෙසේ පැවසීය.
 
“ අපෙන් ඉල්ලා සිටියා පුත්තලමේ ජනතාව මේ කසල ප්‍රශ්නයේදි එයාලත් සමඟ එක්වෙන්න කියලා. 

ජනතාවගේ ප්‍රශ්නයකදි එය උතුරේද දකුණේද කියලා අහක දාන්න බැහැ. මම පසුගිය ගංවතුර කාලේ ගාල්ලට ගියා ජනතාව වෙනුවෙන් පිහිට වෙන්න. 

එතකොට මේ කසල ප්‍රශ්නයේදී පුත්තලමේ ජනතාව විනාශ වෙන්න දෙන්න බැහැ. මොකද ලෝකයේ අනිත් රටවල් කසල ප්‍රශ්නය විසඳලා තිබෙන ක්‍රම තියෙනවා.

එය ප්‍රායෝගික ලෙස යොදා ගතහොත් කොළඹ කුණු කොළඹදිම නිසි කළමණාකරණය කරන්න පුළුවන් එහෙම නැතිව තවත් කොළඹ කුණු ගෙනල්ලා තවත් නගරයක් විනාශ කරන්න කරන්න ඉඩ දෙන්න හොද නැහැ .

ඒ නිසා අපිට හොදම උදාහරණය ඉන්දියාවේ කුණු කළමණාකරන ක්‍රම ඒ නිසා ලෝක බැංකුව හරි වෙනතැනකින් හරි ණය අරන් මේ ප්‍රශ්නය සඳහා නිසි පිළිතුරු ලබා ගන්න කියලා මම කියනවා. 

ඒ වාගේම කොළඹටත් එය බරක් නිසා කොළඹත් විනාශ නොවන ලෙස මේ සඳහා පිළිතුරු නිසි ලෙස යෙදිය යුතුයි. “