අලුත් ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනාට අනුමැතිය

අලුත් ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනාට අනුමැතිය

October 11, 2018   01:27 pm


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවෙන් නම් කළ නව සිවිල් සාමාජිකයින් තිදෙනාට අද(11) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

ඒ අනුව ව්‍යවස්ථා සභාවේ පත් කිරීම් මේ වන විට සම්පූර්ණ වී ඇති අතර හෙට(12) දිනයේ පළමු වරට රැස්වන එම සභාව නව අගවිනිසුරුවරයෙකු නම් කිරීමට නියමිතයි.

කතානායකවරයා,අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා නිල බලයෙන් පත්වන අතර ඊට ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පත් කර ඇති අතර විපක්ෂ නායකවරයා විසින් නම් කරනු ලබන නියෝජිතයා ලෙස පත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාය.

පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පත් කර තිබේ.

මන්ත්‍රීවරුන් නොවන සිවිල් සමාජ ක්‍රියාකාරීන් තිදෙනා ලෙස පත් කර ඇත්තේ ආචාර්ය ජයන්ත ධනපාල,නීතිඥ අහමඩ් ජාවෙඩ් යූසුෆ් හා ජේෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන්ය.