හිසට සෙවණක් සොයන මිනිසුන් අතර වසර 13 ක් පුරා කැලෑ වැදුණ නිවාස 500ක්

හිසට සෙවණක් සොයන මිනිසුන් අතර වසර 13 ක් පුරා කැලෑ වැදුණ නිවාස 500ක්

October 11, 2018   01:14 pm

සුනාමියෙන් විපතට පත් ජනතාව සඳහා අක්කරපත්තුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නොරොච්චොලේ ප්‍රදේශයේ ඉදිකරන  ලද නිවාස 500 කින් යුත්  සුනාමි නිවාස යෝජනා ක්‍රමය වසර 13 ක් පුරා කැලෑ වදිමින් පවතින බව ගම්වැසියෝ පවසති.

සෞදි අරාබියේ ආයතනයක් මඟින් මේ සඳහා මිලියන 800 ක මුදලක් ලබාදුන් අතර මෙම නිවාස 500 ට අමතරව රෝහලක් , පාසැලක්,පොදු වෙළදසැලක් ,ක්‍රීඩා පිටියක් , සංස්කෘතික මධ්‍යස්ථානයක්ද මෙම නිවාස යෝජනා ක්‍රමය තුළ ඉදිකර තිබේ.

මෙම නිවාස බෙදිමට සුදානම් වෙන අවස්ථාවේ එම නිවාස සියලු ජන කොටස්වලට බෙදා දෙන ලෙස ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුලු කිහිපදෙනෙක් ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ  නඩුවක් ගොනු කල අතර පවතින ඉඩම් නීතිය අනුව මෙම ඉඩම් බෙදා දෙන ලෙසට එහිදි නියම විය.

නමුත් වසර 13 ත් ගතව ඇතත් කෝටි ගණනක් වියදම් කර ඉදි කරන ලද මෙම නිවාස ලැබිය යුතු පුද්ගලයින්ට ලැබි නැති  බව ප්‍රදේශවාසින් චෝදනා කරති.

වසර 13 ක් තිස්සේ මෙම නිවාස ප්‍රයෝජනයට නොගෙනීම නිසා මෙම නිවාසවල වහලවල් දිරාපත්වෙමින් වල් බිහිවෙමින් පවති.

සමහර දිනවලට වන අලි පවා මෙම කැලෑ ප්‍රදේශවල සිටින බව ගම්වැසියන් කියති.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමෙන් පසුව අම්පාර දිස්ත්‍රික්කයේ දිසාපතිවරැන් තිදෙනෙක් ස්ථාන මාරැවී ගියත් මෙයට විසඳුමක් ලබා ගන්නට නොහැකි විය. 

මෙම අර්බුදය පිළිබඳව අම්පාර දිසාපති කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ විශාල වශයෙන් ලිපි හුවමාරැ වි තිබුණත් මෛයට විසඳුමක් ලබා නොදෙන්නේ මන්දැයි ඔවුන් විමසා සිටිති.

මේ පිළිබඳව අම්පාර නව දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා ගෙන් විමසු විට පැවසුවේ තමන් අම්පාර දිසාපතිවරයා වශයෙන් පත්වි දැනට මාස දෙකක් පමණ බවයි.

දැනට මේ ඉඩම් සම්බන්ධව අධ්‍යනය කරන අතර ඉන් පසුව නැවති තිබු තැනින් නිවාස ලබාදීම ආරම්භ කිරිමට කටයුතු කරන බවයි.