ආසියානු කුසලානයේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

ආසියානු කුසලානයේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

October 7, 2018   07:49 pm

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ  ශූරතාව හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණි.

ඒ අවසන් මහා තරගයේ දි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 144 කින් පරාජය කරමින්ය.

බංග්ලාදේශයේ ෂෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ දි කාසියේ වාසිය දිනු ඉන්දීය නායකයා ප්‍රතමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඉන්දීය ඉනිම අරඹමින් පිටියට පිවිසි අනුජ් රාවන් සහ යශස්වි ජයස්වල් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ල සඳහා ලකුණු 121ක් සබඳතාවක් ගොඩ නගමින්ය.

මොවුන් දෙදෙනාගේ එම සබඳතාව අවසන් කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණත් සාර්ථක ආරම්භයට විශිෂ්ට අවසානයක් ලබා දුන් නායක සිම්රන් සිං සහ අයුෂ් බදෝනි වේගවත් පිතිහරඹයක් දියත් කරමින් අවසන් පන්දුවාර 5 තුළදී ලකුණු 79ක් සිය කණ්ඩායමට එක් කිරීමට සමත් වුණි.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ඉන්දීය ලකුණු පුවරුව දැක්වුනේ කඩුළු 3 ක් දැවි ලකුණු 304ක් ලෙසයි.

ලකුණු 305ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 4 ලකුණු 79ක් තුළදී බිඳි ගොස් තිබු අතර අනෙක් පිතිකරුවන්ට ද කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකි වුයේ නොමැත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38 යි පන්දු 4කදී සියලු දෙනා දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 160ක් පමණයි.