20ට එරෙහි පෙත්සම් විභාගය කල්යයි

20ට එරෙහි පෙත්සම් විභාගය කල්යයි

September 14, 2018   02:04 pm

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන සදුදා තෙක් කල් තැබිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අදාළ මන්ත්‍රී යෝජනාවට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 12  ක් අද  සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු මහත්ම මහත්මීන් ගෙන් සමන්විත  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග සඳහා යළි කැඳවනු ලැබුවේය.

එහිදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ වෙනුවෙන් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා මෙරට ජනතාව කීප වතාවක්ම තම කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සිට බලයට පැමිණි සියලු ජනාධිපතිවරු  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් වරම් ඉල්ලා සිටි බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම තුළින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වීමක් සිදු නොවන බව කියා සිටියේය.

අනතුරුව වැඩිදුර විභාගය ලබන සඳුදා දක්වා කල් තැබුණි.