CID යෙන් රවීට එරෙහිව නඩුවක්

CID යෙන් රවීට එරෙහිව නඩුවක්

September 14, 2018   11:14 am

‍මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීමේ චෝදනාවට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කරුණු දක්වමින් අද ප්‍රකාශ කළේ 2017 වසරේ අගෝස්තු මස 02 වනදා  මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා එහිදී දිවුරුම් පිට අසත්‍ය සාක්ෂි ලබාදී ඇති බවයි.

මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2015 වසරේ ජනවාරි මස පළමුවනදා සිට 2017 වසරේ අගෝස්තු මස 02 වනදා දක්වා කාල සීමාව තුළ දැනට හඳුනාගෙන තිබෙන දුරකථන අංක කිහිපයක් සම්බන්ධයෙන් අදාළ දුරකථන සමාගම්වලින් වාර්තා කැඳවීමට අවසර දෙනලෙස ඉල්ලීම් කර තිබේ.

එමෙන්ම ජාතික හැඳුනුම්පත් අංක කීපයක් අධිකරණය වෙත ඉදිරිපත් කළ එම දෙපාර්තමේන්තුව ඒවා උපයෝගී කරගනිමින් ලබාගෙන ඇති ජංගම දුරකතන සම්බන්ධතා පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස‍ තවත් ඉල්ලීමක් ඉදිරිපත් කල බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

2015 වසරේ ජනවාරි මස පළමුවනදා 2017 වසරේ අගෝස්තු මස 02 වනදා දක්වා කාලසීමාව තුළ ග්ලෝබල් ට්‍රාන්ස්පොර්ටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම විසින් සිදුකර ඇති ගනුදෙනු පිළිබඳව සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳව සම්පූර්ණ විස්තර ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිසිය කල ඉල්ලීම් වලට අවසර ලබාදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම පරීක්ෂණ පිළිබඳ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සැප්තැම්බර් මස 28 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

මෙහිදී පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ දන්වා සිටියේ අදාළ සිද්ධියට අදාළව රවී කරුණානායක මත්‍රවරයාගෙන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වන මෙලා කරුණානායක, ඔනෙලා කරුණානායක සහ  ඩී .ජේ .ආර් සින්නයියා යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි.