බස් රථයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 29 දෙනෙකු මරුට
සයුරෙන් එතෙර

බස් රථයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 29 දෙනෙකු මරුට

August 10, 2018   07:28 am

සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානය මඟින් යේමනය වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 43දෙනකු මියගොස් තිබේ.

යේමන වාර්තාවලට අනුව මියගිය පිරිසෙන් බහුතරය ළමුන් බවද සඳහන් වෙයි.

කැරලිකරුවන්ගේ පාලනය යට‍තේ පවතින උතුරුදිග යේමනයට සෞදි අරාබිය ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදා ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රහාරයෙන් සාදා පළාතේ ධාවනය වෙමින් පැවති බස් රථයක සිටි පුද්ගලයින් රැසක් මරණයට පත්ව සහ තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.

ඒ අතුරින් බොහෝ දෙනෙක් ළමුන් බවද වාර්තා වෙයි.

යේමන සෞඛ්‍ය අංශ සඳහන් කළේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 43 දෙනෙකු පමණ මිය යන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ අතර ළමුන් 29 දෙනෙකු සිටින බවත්, තවත් ළමුන් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

ප්‍රහාරයට ලක් වූ බහුතරය ළමුන් බවත් ඔවුන් වයද අවුරුදු 10ට අඩු වයස් සීමාවන්හි පසුවන්නන් බවත් රතු කුරුස සංවිධානය පවසයි.

මේ අතර සුන්නි සටන්කාමීන්ට එරෙහිව සිදුකරන සටනේදී යේමන රජයට අනුග්‍රහය දක්වන ඒකාබද්ධ හමුදාව ප්‍රහාරය සාධාරණිකරණය කර ඇත්තේ එය  සටන්කාමීන් එල්ල කළ මිසයිල ප්‍රහාර වලට ප්‍රතිචාරයක් ලෙස පෙන්වා දෙමින්.

කෙසේ වෙතත් ඒකාබද්ධ හමුදා යේමනයේ සිවිල් වැසියන් ඉලක්ක කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළද පසුගිය වසර තුනක කාලය තුළ ඔවුන් එහි වෙළඳසල්, පාසල්, රෝහල් සහ නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.