Back to Top

 දකුණු පළාතේ රෝහල් කිහිපයකින් වාර්තා වූ රෝගී තත්ත්වය ගැන පරීක්ෂණ අරඹයි

දකුණු පළාතේ රෝහල් කිහිපයකින් වාර්තා වූ රෝගී තත්ත්වය ගැන පරීක්ෂණ අරඹයි

May 16, 2018  04:21 pm

Bookmark and Share

 

කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු දකුණු පළාතේ රෝහල් කිහිපයකින් වාර්තා වී ඇති රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය මඟින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව  සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

දකුණු පළාතේ කිසියම් හඳුනානොගත් රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට පල වන වාර්තා සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ එය ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් බවට විශ්වාස කරන බවයි.

‍මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසුවේ එම වෛරස් රෝගය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවයි.

රෝග ව්‍යාප්තිය වැලැක්වීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල තුළ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව  වෛද්‍ය ජයම්පති සේනානායක මහතා සඳහන් කළේය.

මේ අතර මෙය ඉන්ෆ්ලුවෙන්සා සහ ඇඩිනෝ වෛරස හේතුවෙන් ඇතිවන නිව්මෝනියා තත්ත්වයක් බවට හඳුනාගෙන ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා මහතා පවසයි.