Back to Top

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟයේ ශ්‍රී ලංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාර්තා 4 ක් සමඟ රන් පදක්කම් 5 ක් දිනයි

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟයේ ශ්‍රී ලංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාර්තා 4 ක් සමඟ රන් පදක්කම් 5 ක් දිනයි

May 5, 2018  07:25 pm

Bookmark and Share

 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී අද ආරම්භ වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තරගාවලි වාර්ථා 4ක් පිහිටුවීමට සමත් වූ අතර රන් පදක්කම් 5 ක් දිනා ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විණි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස දක්ෂතා දැක්වුවද ක්‍රීඩා බලධාරින්ගේ ඇතැම් ක්‍රියා හේතුවෙන් පසුගිය දින කිහිපයේදීම ඔවුන්ට විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදුවීම කණගාටුවට කරුණකි.

දකුණු ආසියානු කනිශ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විදීමට සිදුවූ අකටයුතුකම්  පිළිබදව පසුගිය දින කිහිපය පුරාම මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිණි.

මෙම කරුණු අනාවරණයත් සමග අදාළ කලමණාකරුවා තමන්ගේ නිර්දෝශී බව ඔප්පු කිරීම සඳහා කනිශ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අත්සනින් යුතු ලිපියක් සකස් කරගෙන තිබුණද එම ලිපියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොමග යවා අත්සන් ලබාගෙන ඇති බව හඬ පටයක් මාර්ගයෙන් පසුව අනාවරණය විය.

මෙවන් ගැටලු රැසකට මුහුණ දී සිටි මෙම කණිෂ්ඨ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඊයේ (04) උදෑසන සිට ඔවුන් නවාතැන් ගෙන සිටි ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරයේ විදුලිය නොමැති වීමෙන් තවත් ගැටලුවකට මුහුණ දීමට සිදුවිය.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඊයේ උදෑසන සිට සවස් වන තුරුත් විදුලිය සහ ජලය නොමැතිව සිටීමට සිදුවුවත් කණ්ඩායම් කළමනාකරු හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම ගැටලුව විසඳීම සඳහා මැදිහත්ව නැහැ.

කෙසේ වෙතත්  ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම ක්‍රීඩා අමාත්‍යවරයාට සැලවීමත් සමග බස් රථ යොදාගනමින් කණිෂ්ඨ  මලල ක්‍රීඩා කණ්ඩායම බම්බලපිටියේ පිහිටි හෝටලයක් වෙත නවාතැන් සඳහා රැගෙන ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ නේවාසිකාගාරයේ සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් අප විදුලිබල මණ්ඩලයෙන් විමසීමක් කළේය.

මේ අතර මෙම සිදුවීම සොයා බලා නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවන බව ක්‍රීඩා අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අද (05) නිවේදනය කළේය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමෙන් පමණක් මෙම ප්‍රශ්ණයට විසදුම ලැබේද යන්න ගැටළුවක් වන අතර ක්‍රීඩා උලෙළක් ආරම්භ වීමට දින කිහිපයකට පෙර සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව මෙලෙස අපහසුතාවට පත් කිරීම පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතු වේ.