කාලගුණය තවමත් අයහපත්-ධීවරයින්ට නිකුත් කළ අනතුරු අඟවීම තවදුරටත්

කාලගුණය තවමත් අයහපත්-ධීවරයින්ට නිකුත් කළ අනතුරු අඟවීම තවදුරටත්

March 13, 2018   02:57 pm

දිවයිනට දකුණු දෙසින් පවතින අඩුපීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල තවදුරටත් අහස වලාකුළින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ බටහිර මුහුදු තීරයේ සුළං වේගය ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති හෙයින් මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අනතුරු ඇඟවීම තවදුරටත් බලපැවැත් වෙයි.

අද(13) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,හා මන්නාරම දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75-100 අතර තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

එමෙන්ම  උතුර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කවලත් පැයට කිලෝමීටර 50 පමණ වේගයක් සහිත තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 80 ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව ද කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය නොසලකා ඊයේ(12) දිනයේ මුලතිව්හි නයාරු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු සහිත යාත්‍රාවක් අතුරුදන්ව තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 50,48 හා 24 යන වයස්වල ධීවරයින් තිදෙනෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ නාවික හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව එම පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10 ක් ඊයේ විවෘත කෙරුණි.

එම වාන්දොරටු 10 ම අඩිය බැගින් විවෘත කර ඇති අතර තත්පරයට ඝන අඩි 1200 ක ජලධාරිතාවක් අඹන්ගඟ හරහා මහවැලිගඟට මුදා හැරෙයි.

ගතවූ පැය 24 ක කාලය තුළ මිලිමීටර 135 ක වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ පොළොන්නරුව අංගමැඩිල්ල ප්‍රදේශයෙනි.

මීට අමතරව අරලගංවිල ප්‍රදේශයට මිලිමීටර 121.5 ක හා පොළොන්නරුව නගරය ආශ්‍රිතව මිලිමීටර 104.7 ක වර්ෂාපතනයක් වාර්තා විය.

වාකරේ හා බණ්ඩාරවෙල කනවරඇල්ල ප්‍රදේශයට ද මිලිමීටර 100 ඉක්මවූ තදවැසි ඇදහැලී තිබේ.