බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 සංචිතය නම් කරලා -  මාලිංග ට තැනක් නැහැ

බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 සංචිතය නම් කරලා - මාලිංග ට තැනක් නැහැ

February 7, 2018   03:35 pm


බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරඟමාලාවේ නායකත්වය සඳහා දිනේෂ් චන්දිමාල් පත් කර තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ පත්වීමෙන් පසු ඔහු පුහුණුකාරීත්වය දරණු ලබන පළමු විස්සයි 20 තරඟාවලිය මෙය වන අතර යොවුන් ක්‍රීඩකයින් පිළිබඳ වැඩි විශ්වාසයක් ඔහු විසින් තබා ඇති බව කණ්ඩායම දෙස බැලීමේ දී පෙනී යයි.

කණ්ඩායමේ වේගපන්දු බලඇණිය සඳහා අසිත ප්‍රනාන්දු හා ෂෙහාන් මදුසංඛ කැඳවා ඇති අතර ඔවුන් මේ දක්වා එකදු හෝ ජාත්‍යන්තර විස්සයි 20 තරඟයකට ක්‍රීඩා කර නොමැති වීම විශේෂත්වයකි. 

මීට අමතරව වමත් වේගපන්දු යනව ක්‍රීඩක ඉසුරු උදාන ද කණ්ඩායමට කැඳවා තිබේ.

මේ අතර මෙම සංචිතය සඳහා පාදඟ පන්දු යවන්නන් තිදෙනෙකුම කැඳවා තිබීම තවත් කැපී පෙනෙන කරුණකි. 35 වියැති දකුණත් පාදඟ පන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් නැවත වරක් ශ්‍රී  ලංකා පිලට කැඳවීම් ලැබ ඇති අතර ජෙෆ්රි වැන්ඩසේ හා අමිල අපෝන්සු කණ්ඩායමට අලුතින් කැඳවා ඇති සෙසු දඟ පන්දු යවන්නන් වේ.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන්නන් වන ලසිංත් මාලිංග, සුරංග ලක්මාල් මෙන්ම දුෂ්මන්ත චමීර ද මෙම සංචිතයෙන් ඉවත්කර තිබීම තවත් විශේෂ කරුණකි.

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි 20 තරඟ දෙක සඳහා නම් කර ඇති ශ්රීි ලංකා සංචිතය පහත දැක්වේ.

දිනේෂ් චන්දිමාල් (නායක)

උපුල් තරංග

ධනුෂ්ක ගුණතිලක

කුසල් පෙරේරා

තිසර පෙරේරා

අසේල ගුණරත්න

නිරෝෂන් දික්වැල්ල

දසුන් ශානක

ඉසුරු උදාන

ෂෙහාන් මධුශංක

ජෙෆ්රි වැන්ඩසේ

අකිල ධනංජය

අමිල අපෝන්සු

ජීවන් මෙන්ඩිස්

අසිත ප්‍රනාන්දු

මෙම තරගාවලියෙන් අනතුරුව ඉන්දියාව සහ බංග්ලාදේශය සමඟ ශ්‍රී  ලංකාවේ දී නිදහස් කුසලානය වෙනුවෙන් විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට නියමිතය.