ගැබ්බර මුව දෙනක් මැරූ අයෙකුට වැඩ වරදියි

ගැබ්බර මුව දෙනක් මැරූ අයෙකුට වැඩ වරදියි

January 12, 2018   03:15 pm



ගැබ්බර මුව දෙනක් ඝාතනය කර යතුරු පැදියකින් රැගෙන යමින් සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ට සහාය වෙමින් තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකුව කරුවලගස්වැව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

11 වැනිදා රාත්‍රීයේ කරුවලගස්වැව තබ්බෝව වැව් තාවුල්ලේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කරුවලගස්වැව - 8 කණුව පදිංචි 22 – 25 වියේ පසුවන බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

මුව දෙනට වෙඩි තැබීම සඳහා යොදා ගත් බෝර 12 ගිනි අවියක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.

සැකකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති මුව දෙන කිලෝ ග්‍රෑම් 50 ක පමණ බරකින් යුක්ත බවත්,එම සතා ගැබ්බර බවට සැකකරන්නේ යැයි වන ජීවී නිලධාරීන් පවසයි.

තබ්බෝව රක්ෂිතයේ දී මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි වැටලීම කළ නිලධාරීන් සඳහන් කරන අතර සැකකරුවන් තිදෙනාද,මුව දෙනට වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවියද පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.