පුටින් නායකත්වයේ රිදී ජුබිලියට සැරසෙයි
සයුරෙන් එතෙර

පුටින් නායකත්වයේ රිදී ජුබිලියට සැරසෙයි

December 7, 2017   11:16 am


රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී  තවත් ධුර කාලයක් බලයේ රැඳී සිටීමට සූදානම් බව ප්‍රකාශයට පත්කර තිබේ.

රුසියාවේ වොල්ගා නගරයේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයන් අමතමින් ඔහු සිදුකළ අදහස් දැක්වීමකදී මෙම ප්‍රකාශය පූටින් විසින් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

"රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිධුරය සඳහා වූ මගේ අපේක්ෂකත්වය ඉදිරියටත් ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා" යැයි එහිදී පූටින් පවසා තිබේ.

ඒ අනුව, එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයෙන් පූටින් ජයග්‍රහණය ලැබුවහොත් 2024 දක්වා බලයේ රැඳී සිටීමේ හැකියාව හිමිවනු ඇත.

2000 වසරේ සිට බලයේ සිටින පූටින්, වරෙක එරට ජනාධිපතිවරයා ලෙසත් එරට අගමැතිවරයා ලෙසත් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මෙම මැතිවරණයෙන් ඉතා පහසු ජයග්‍රහණයක් ලැබීමට පූටින්ට හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම, දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.