එක් දින සහ 20 යි 20 ට කෝලි නෑ

එක් දින සහ 20 යි 20 ට කෝලි නෑ

December 7, 2017   10:38 am




ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියෙන් මෙන්ම 20යි 20 තරඟාවලියෙන් ද ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි විවේකගන්වා තිබේ.

ඊයේ නිමා වූ ටෙස්ට් තරඟාවලියෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කෝලි ප්‍රකාශ කර ඇත්තේ මාස 48ක කාලයක් අඛන්ඩව තරඟ වලට සහභාගීවීම හේතුවෙන් තමාට කෙටි විවේක කාලයක් අවශ්‍ය බවයි.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු තරඟ සංචාරය ආරම්භවීමට පෙර තමා කෙටි කාලයක් විවේක ගැනීමට අපේක්ෂා කරන බව කෝලි ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ  වීරයා බවට පත්වූ කෝලි තරඟාවලිය පුරා ද්විත්ව ශතක දෙකක් සමගින් ශතක තුනක් ලබාගත් අතර ඔහු එහිදී රැස් කල මුළු ලකුණු සංඛ්‍යාව 610 කි.

ටෙස්ට් ඉනිමකදී තමා ලැබූ ඉහලම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ද කෝලි එම තරඟාවලියේදී සමත් විය.

මේ අතර විරාත් කෝලි සහ බොලිවුඩ් සුරූපී නිලි අනුෂ්කා ෂර්මා අතර විවාහය මෙම මාසයේ සිදුවන බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබුණද ඒවායේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අනුෂ්කා ෂර්මාගේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.