ට්‍රම්ප්ගෙන් තවත් තීන්දුවක්-ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර වෙයි
සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගෙන් තවත් තීන්දුවක්-ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර වෙයි

December 7, 2017   08:44 am

ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

එය, මැදපෙරදිග කලාපයේ සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා වන දිගුකාලීන පියවරක් ලෙස ට්‍රම්ප් මෙය හඳුන්වා දී ඇත.

ඉපැරණි ජෙරුසෙලම නගරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දිගු කාලීන අර්බුධයක් පැවතුණි.

මේ අතර ප්‍රකාශයක් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ටෙල් අවිව් නුවර පිහිටා තිබෙන අමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසෙලමට ගෙන යාමට කටයුතු කරන බවයි.

එමෙන්ම ජෙරුසෙලම එරට අගනුවර වශයෙන් පිළිගන්නා බවද ඔහු එහිදී සඳහන් කළේය.

මෙම තීරණය දැඩි භයානක බව පෙන්වා දුන් අරාබි ලීගයේ නායකයින් එමගින් කලාපයේ ජනතාව දැඩි නොසන්සුන්කාරී තත්වයකට පත්වනු ඇති බවද පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර වශයෙන් පිළිගන්නා බව ට්‍රම්ප් ඊයේ(06) දිනයේ නිවේදනය කර තිබේ.

එමෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින දිගු කාලීන ගැටුම සමතයකට පත් කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ සහාය දෙරටටම ලබා දෙන බවද ට්‍රම්ප් සඳහන් කර ඇත.

මෙය ඓතිහාසික තීන්දුවක් බවට ප්‍රකාශ කළ ඊශ්‍රායලය වැඩිදුරටත් සඳහන් කළේ එය ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක්වීමට ඉඩ ඇති බවයි.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණය නින්දිත බවත් එක්සත් ජනපදය තවදුරටත් සාම නියෝජිතයෙකු නොවන බවත්, නිවේදනයක් නිකුත් කරමින් පලස්තීන ජනපති මහමුද් අබ්බාස් පවසයි.

අමෙරිකාවේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරියේදී රැස්වීමට නියමිතයි.