මඩ නෑමක්
සයුරෙන් එතෙර

මඩ නෑමක්

July 21, 2019   10:02 am

මඩ නා ගැනීමේ උත්සවයක් පිළිබඳව දකුණු කොරියාවෙන් වාර්තා වෙයි.

වාර්ෂිකව පැවැත්වෙන එම උත්සවය හඳුන්වනු ලබන්නේ  “බොරියොන්ග් මඩ උළෙල” ලෙසයි.

මඩ නා ගැනීම සුදුසු දෙයක් නොවන නමුත් ලොව තැන තැන මඩ නාගන්නා ආකාරය විදෙස් මාධ්‍ය සේවාවන් වරින් වර වාර්තා කරයි.

මේ වනවිට පැවැත්වෙන මඩ නා ගැනීමක් පිළිබඳව විදෙස් පුවත් පසුගියදා වාර්තා කර තිබුණි.

ඒ දකුණු කොරියානු සම්ප්‍රදායික උත්සවයකදී එරට වැසියන් සියතින්ම මඩ නා ගැනීමේ උත්සවයක් වන අතර එය  හැඳින්වෙන්නේ බොරියොන්ග් මඩ උළෙල ලෙසයි.

මේ මඩ උළෙල  ග්‍රීෂ්ම කාලයේදී දකුණු කොරියාවේ බොරියොන්ග් නගරයේදී පැවැත්වෙයි.

එමෙන්ම සෑම වසරකම එය ජූලි මාසයේ දෙවැනි සතියේ පැවැත්වෙන බවත් විදෙස් වාර්තා සඳහන් කළේය.

මඩ උළෙල පැවැත්වීම ආරම්භ වුණේ 1998 වසරේදීයි.

වසරින් වසර මේ උළෙල ජනප්‍රිය වන්නට පටන් ගත් අතර එහි උච්ඡතම අවස්ථාවක් ලෙස 2007 වසර සැළකෙයි.

ඒ වසරේ පැවැත්වුණු මඩ උළෙලට සහභාගීවීමට මිලියන 2.7ක පිරිසක් බොරියොන්ග් වෙත පැමිණියේය.

මඩ උළෙල ඉතිහාසයේ අමතක නොවන සිද්ධිය වාර්තා වුණේ 2009 වසරේදීයි.

මඩ නාගන්නට උළෙලට පැමිණි පාසල් 230ක ශිෂ්‍යයින් මඩ නාගැනීම අතර තුර හදිසියේ සමේ රෝගයකට ගොදුරු වුණි.

එම තත්ත්වය එතරම් දුර දිග නොයෑම හේතුවෙන් අදටත් විශාල පිරිසක්  තමන්ගේ තරාතිරම ගැන නොසිතා නොබලා මඩ නාගන්නට එහි පැමිණෙයි.

වසරකට වරක් මෙලෙස  විනෝදයටවත් මඩ උළෙලකට සහභාගී නොවුණහොත් ඇතමුන්ට මඩ නාගන්නට සහ මඩ ගසන්නට අවස්ථාවක් ජීවිත කාලයටම එළඹෙන්නේ නැති බව විදෙස් පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කළේය.