ඉරානය විසින් බ්‍රිතාන්‍යය නැව අල්ලාගත් අවස්ථාව මාධ්‍යට
සයුරෙන් එතෙර

ඉරානය විසින් බ්‍රිතාන්‍යය නැව අල්ලාගත් අවස්ථාව මාධ්‍යට

July 21, 2019   10:00 am

ඉරාන හමුදා විසින් බ්‍රිතාන්‍ය නෞකාවක් සිය බාරයට ගැනීමේ වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් වී ඇත.

උද්ගත වී ඇති අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එළඹෙන සඳුදා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කිරීමට නියමිත බව බ්‍රිතාන්‍යය විදේශ ලේකම් ජෙරමි හන්ට් ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යයට අයත් 'ස්ටෙනා ඉම්පෙරෝ' නම් තෙල් නැව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් රඳවාගත් අවස්ථාවේ වීඩියෝ දර්ශන එම බලකාය විසින් නිකුත් කෙරුණි.

නැව අල්ලා ගැනුණේ ගල්ෆ් කලාපයේ පිහිටි හොර්මුස් නම් මූලෝපායිකව වැදගත් ප්‍රදේශයේදී.

මෙම නෞකාව සෞදි අරාබියේ අල් ජුබේල් වෙත යාත්‍රා කරමින් සිටියදී සාමාන්‍ය නාවික මාර්ගයෙන් බැහැරව ඉරානයේ කියුෂම් (Qeshm)දූපත දෙසට යාත්‍රා කළේ යයි ඉරානය කියා සිටියේය.

ඉරාන විප්ලවකාරී ආරක්ෂක බලකායේ බෝට්ටු නැව වටලන අතර හෙලිකොප්ටරයකින් පැමිණි භටයින් නැව් තට්ටුවට ගොඩ බසින අවස්ථාව අදාල වීඩියෝවෙන් පෙන්වයි.

එම නැව අන්තර්ජාතික මුහුදු රීතීන් උල්ලංඝනය කළ හෙයින් රඳවා ගත් බව විප්ලවීය ආරක්ෂක බලකාය පවසා සිටියි.

නමුත් මෙම නැව අයත් 'ස්ටෙනා බල්ක්' (Stena Bulk) ආයතනය කියා සිටින්නේ තම නෞකාව ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් කරමින් සිටි බවයි.

ධීවර යාත්‍රාවක ගැටීමෙන් අනතුරුව එම කුඩා යාත්‍රාව කළ දැනුම් දීමට ප්‍රතිචාර නොදැක් වූ නිසා නැව අල්ලාගත් බව ඉරාන රජය සතු ඉර්නා පුවත් සේවය වැඩිදුරටත් පැවසුවේය.

නමුත් තමන් රෙගුලාසි අනුව කටයුතු කරන බව කී 'ස්ටේනා ඉම්පෙරෝ' නෞකාවේ හිමිකරුවන් තම යාත්‍රාව වටකර ගන්නා විට එය ජාත්‍යන්තර මුහුදු කලාපයේ යාත්‍රා කරමින් තිබු බවත් කියා සිටියේය.

නැව අල්ලා ගන්නා විට එහි කාර්ය මණ්ඩලය 23 දෙනෙක් සිට තිබෙයි.

ඉන්දීය, රුසියානු, ලැට්වියානු සහ පිලිපීන ජාතිකයන් වන ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නැත.

මෙම සිදුවීමත් සමග හෝර්මූස් සමුද්‍ර සන්ධියේ බ්‍රිතාන්‍ය සහ අන්තර්ජාතික නාවික කටයුතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් "බරපතල ගැටළු" මතු වී ඇති බව බ්‍රිතාන්‍යය විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසයි.

එමෙන්ම නෞකාව නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා තිබෙයි.

උද්ගතවී ඇති අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍යෙය් හදිසි කමිටුව වන කෝබ්‍රා කමිටුව  කැඳවීමට රජයට සිදු වූ අතර බ්‍රිතාන්‍යය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජෙරමි හන්ට් ප්‍රකාශ කළේය.

ඉරානය සමග එක්සත් රාජධානියේ සහ අමෙරිකාවේ සම්බන්ධතා මෑතක සිට පිරිහීමත් සමගම වර්තමාන තත්ත්වය වර්ධනය වෙමින් තිබෙයි.

ඉරානය සහ අමෙරිකාව අතර පසුගිය අප්‍රේල් මාසයේ සිටම මතභේද වර්ධනය වෙමින් පැවතියේය.

ඒ ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක දැඩි කිරීමට තීරණය කිරීමත් සමඟයි.

2015 දී එළඹුණු න්‍යෂ්ටික ගිවිසුමෙන් ප්‍රථමයෙන් අමෙරිකාව ඉවත්වීමට තීරණ කළ අතර ඉන්පසු තමන් ද එම ගිවිසුමේ ඇතැම් කොටස් වලින් ඉවත් වන බව පසුගිය මැයි මාසයේදී ඉරානය නිවේදනය කළේය.

මෙම සිදුවීමෙන් පසු ඉරානයට එරෙහි සම්බාධක අමෙරිකාව විසින් දැඩි කරනු ලැබුවේය.

පසුගිය මැයි මාසයේ සිට ගල්ෆ් මුහුදු කලාපයේදී තෙල් නැව්වලට ඉරානය විසින් පහර දෙන බවට අමෙරිකාව චෝදනා කළ නමුත් ටෙහෙරානය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

එක්සත් රාජධානිය පවසන්නේ අමෙරිකාව මෙන් නොව තමන් 2015 න්‍යෂ්ටික ගිවිසුමට කැප වී සිටින බවයි.

එම ගිවිසුම අනුව ඉරානය න්‍යෂ්ටික කටයුතුවල නොයෙදෙන්නේ නම් ඔවුන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කෙරෙනු ඇති.

කෙසේ නමුත් ජිබ්‍රාල්ටර් දූපත ආසන්නයේදී ඉරාන තෙල් නෞකාවක් රඳවා ගැනීම සඳහා රාජකීය මරීන් භටයින් සහාය දීම හේතුවෙන් මේ වනවිට බ්‍රිතන්‍ය සමග ද ඉරානය උරණ වී සිටියි.