එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් නවසීලන්ත විශිෂ්ඨයා ලෙස නිර්දේශ වෙයි

එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් නවසීලන්ත විශිෂ්ඨයා ලෙස නිර්දේශ වෙයි

July 20, 2019   08:57 am

නවසීලන්තයේ වසරේ විශිෂ්ඨතම පුද්ගලයාට හිමි සම්මානයේ නිර්දේශිත නාමයන් අතරට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ගේ නම යෝජනා වී තබේ.

නවසීලන්ත ජාතිකයෙකු වන බෙන් ස්ටෝක්ස් නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී විශිෂ්ඨ දස්කම් දැක්වූ අතර තරගයේ වීරයා සම්මානය හිමිකරගැනීමට ද ඔහු සමත්වුණි.

මෙවර නවසීලන්තයේ වසරේ විශිෂ්ඨතම පුද්ගලයාට හිමි සම්මානය සඳහා ස්ටෝක්ස්ට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වූ නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් ද නිර්දේශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නවසීලන්තයේ උපත ලැබූ 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස් රග්බි පුහුණුකරුවෙකු වන සිය පියාගේ වෘත්තීමය කටයුත්තක් හේතුවෙන් කුඩා අවදියේ දී පවුලේ සාමාජිකයින් සමග එංගලන්තයට ගොස් තිබු අතර පවුලේ සෙසු සාමාජිකයින් පසුව යළි නවසීලන්තයට පැමිණිය ද ස්ටෝක්ස් එරට රැදී සිට තිබේ.

වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සාර්ථක වෙමින් 2011 වසරේ සිට එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඔහු මේ දක්වා සහභාගී වී ඇති තරග සංඛ්‍යාව 95ක් වෙයි.