ඉරානය බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි
සයුරෙන් එතෙර

ඉරානය බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි

July 11, 2019   11:19 am

තම රටේ තෙල් නැවක් අල්ලාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බව ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසයි.

කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ග්‍රේස් වන් නමැති ඉරාන තෙල් නැව බ්‍රිතාන්‍යෙයේ රාජකීය මැරීන් හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවේ ඉකුත් සතියේදීයි.

සම්බාධක නොතකා අදාළ නෞකාව සිරියාවට තෙල් රැගෙන යමින් සිටින බවට චෝදනා කරමින් එය මෙලෙස හමුදාභාරයට ගෙන තිබුණි.

ග්‍රෙස් වන් නෞකාව වහා නිදහස් කරන ලෙස ඉරාන ජනාධිපති හසන් රවුහානි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම නෞකාව අල්ලාගැනීමේ සිදුවීමට බ්‍රිතාන්‍යයට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

තවද බ්‍රිතාන්‍ය යනු අනාරක්ෂිත බවේ ආරම්භකයා බවටත් රවුහානි චෝදනා කරයි.

ඉරානය සහ රටවල් කිහිපයක් සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමේ විධානයන්ට පටහැනිලෙස ඉරානය කටයුතු කරන බවට යුරෝපා රටවල් කිහිපයක් පසුගියදා චෝදනා කළේය.

ඉන් දිනකට පසුව ජනාධිපති හසන් රවුහානි බ්‍රිතාන්‍යය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබුණේය.