බිග් බෙන් ඔරලෝසුවට 160ක්
සයුරෙන් එතෙර

බිග් බෙන් ඔරලෝසුවට 160ක්

July 11, 2019   11:03 am

බ්‍රිතාන්‍යයේ සුප්‍රකට බිග් බෙන් ඔරලෝසුව පළමු වරට නාදකොට අදට (11) වසර 160ක් සම්පූර්ණ වේ.

කෙසේ වෙතත් දැවැන්ත අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බිග්බෙන් ඔරලෝසුව මේ වන විට නිහඬ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මීටර් 96ක් උසැති එළිසබෙත් කුළුණේ සිව් දෙසින් මුහුණත් හතරක් සහිතව බිග් බෙන් ඔරලෝසුව නිර්මාණය කර තිබේ.

ඔරලෝසුවේ විශ්කම්භය මීටර් 7ක් වන අතර එහි බර ටොන් දහතුනයි දශම 7ක්.

ලන්ඩනයේ තේම්ස් ගං ඉවුරේ පිහිටා ඇති වෙස්ට්මින්ස්ටර් මන්දිරයේ බිග්බෙන් ඔරලෝසුව සහිත එළිසබෙත් කුළුණ ඉදිකර තිබේ.

මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින්ද ප්‍රකාශයට පත්කර ඇති අතර ලන්ඩනයට පැමිණෙන සංචාරකයන් බොහෝ දෙනෙකුගේ සිත් ඇදබැඳ ගත් ස්මාරකයක්.

බිග්බෙන් ඔරලෝසුවේ ඉදිකිරීම් කටයුතු 1859 වර්ෂයේ මැයි 31වන දා අවසන් කෙරුණු අතර එම වර්ෂයේම ජුලි 11වන දා එය පළමු වරට නාද කරනු ලැබුවේය.

කෙසේ නමුත් දැවැන්ත ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් බිග්බෙන් ඔරලෝසුව මේ දිනවල නිහඬව පවතියි.

2017 වර්ෂයේදී ආරම්භ කරන ලද අළුත්වැඩියා කටයුතු අවසන් කිරීමට නියමිතව තිබෙන්නේ 2021 වර්ෂයේදීයි.

එහිදී එළිසබෙත් කුළුණේ ලෝහ වහලය මුළුමණින්ම ගලවා ඉවත් කෙරෙන අතර සම්පූර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් බිලියන 5ක්.