කිම් ඩැරක් ඉල්ලා අස් වෙයි
සයුරෙන් එතෙර

කිම් ඩැරක් ඉල්ලා අස් වෙයි

July 11, 2019   10:57 am

අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති කිම් ඩැරක් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ ට්‍රම්ප් ජනාධිපතිවරයා විවේචනය කරමින් ඔහු යැවූ බව පැවසෙන විද්‍යුත් තැපැල් පණිවුඩය සම්බන්ධ සිදුවීම මුල්කරගෙනයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් විද්‍යුත් තැපැල් පණිවුඩයක් යවා ඇති බවට අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් කිම් ඩැරක්ට චෝදනා එල්ලවී ඇත.

තානාපතිවරයාගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව ඉදිරියේදී ශ්‍රීමත් කිම් සමඟ කටයුතු නොකරන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සම්බන්දයෙන්ද විවේචනාත්මක ලෙස අදහස් දක්වා තිබුණි.

මෙම සිදුවීමෙන් අනතුරුව තමාට තවදුරටත් තානාපති ධුරයේ කටයුතු කළ නොහැකි බව ශ්‍රීමත් කිම් ඩැරක් පවසයි.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් තානාපතිවරයා පවසා ඇත්තේ මේ වසරේ අවසානය තෙක් තමා ධුරයේ කටයුතු කරන බවයි.

එමෙන්ම පවතින වාතාවරණය තුළ නව තානාපතිවරයෙක් පත්කරගැනීම වඩාත් සුදුසු බවද ඔහු පවසා තිබුණි.

මේ අතර ශ්‍රීමත් ඩැරක්ගේ ඉල්ලා අස්වීම දැඩි කණගාටුවට කරුණක් බව අගමැතිනී තෙරේසා මේ පවසන්නේය.

ශ්‍රීමත් කිම් ඩැරක් විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බවත් ඔහුගේ විද්‍යුත් ලිපි මාධ්‍යයට මුදාහැරීම තම රටේ සිවිල් සේවකයන්ට සිදුකළ බරපතල අපකීර්තියක් බවත් බ්‍රිතාන්‍යයේ මීලඟ අගමැති ධුර අපේක්ෂක බෝරිස් ජොන්සන්ගේ අදහසයි.

කෙසේ වෙතත් කිම් ඩැරක්ට සිය සහාය මුළුමණින්ම ලබා නොදුන් බවට බෝරිස් ජොන්සන්ට ඇතැම් පාර්ශවයන් චෝදනා කර සිටියි.