ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට වැස්ස හරස්වෙයි

ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට වැස්ස හරස්වෙයි

July 10, 2019   06:48 am

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ(09) දිනයට අත්හැර දැමූ ඉන්දියා-නවසීලන්ත ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගය අද(10) පස්වරු 3 සිට නැවත පැවැත් වෙයි.

අතිරේක දිනය වන අද දිනයේ තරගය නැවත ආරම්භ කෙරෙන්නේ ඊයේ දිනයේ තරගය නතර කෙරුණු ස්ථානයේ සිටියි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණි.

තරගය ඊයේ නියමිත වේලාවට ආරම්භ කෙරුණත් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත ඉනිමේ 47වැනි පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඒ වනවිට නවසීලන්තය කඩුළු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 211ක්.

කෙසේ වෙතත් තරගය නතර කෙරුණු අවස්ථාවේ සිට මැන්චෙස්ටර් නුවරට අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් විනිසුරුවන් ඊයේ දිනයට තරගය අත්හැර දැමීමට තීරණය කළේය.

මෙවර ලෝක කුසලාන නීති රීති වලට අනුව අවසන් පූර්ව තරග 2ට සහ අවසන් තරගයට අතිරේක දිනය බැගින් ලබා දී තිබේ.

ඒ අනුව ඊයේ නතර කළ ස්ථානයේ සිට අද දිනයේ තරගය නැවත ආරම්භ කෙරෙන අතර නවසීලන්ත ඉනිමේ තවත් පන්දුවාර 3යි පන්දු 5ක් අද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

යම් හෙයකින් අද දිනයේත් වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමුවහොත් පළමු වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

එසේ සිදුවුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ඉන්දියා කණ්ඩායමයි.