කොදෙව්වන්ට එරෙහි වු බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වන තැනට

කොදෙව්වන්ට එරෙහි වු බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වන තැනට

June 18, 2019   11:52 am

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඊයේ(17)  පැවැති තරගය කඩුලු 7කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

එම ජයත් සමඟ බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ නායකයා ටවුන්ටන් තණතීරුවේ පළමු පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආසර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුණත් දෙවන කඩුල්ල සඳහා පිටියේ එක් වු එවින් ලුවිස් සහ ශෙයි හෝප් ලකුණු 116ක විශිෂ්ට සබඳතාවයක් එක් කළේ බංග්ලාදේශ පන්දු යවන්නන් සිය පාලනයට නතු කර ගනිමින්.

එවින් ලුවිස් ලකුණු 70ක් රැස් කර ගෙන සිටියදී කොදෙව් ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියේය.

කෙසේ වෙතත් ශෙයි හොප් සමඟින් පිටියේ එක් වු ෂීම්රන් හෙට්මයර් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 86ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වු අතර ෂිම්රන් හෙට්මයර් පන්දු 26කදී වේගවත් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය.

ෂිම්රන් හෙට්මයර්ගේ දැවීයාමෙන් පසු ශෙයි හෝප් සමඟින් සාර්ථක සබඳතාවයක් ගොඩනැගීමට කිසිදු පිතිකරුවෙක් හට නොහැකි වු අතර බටහිර ඉන්දීය කොදෙව් ඉනිම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 321කට සීමා විය.

ශෙයි හෝප් ශතකය අභියස ලකුණු 96ක් රැස් කර ගෙන සිටියදී දැවී ගියේය.

පන්දු යැවීමේදී මුෂ්ටෆිසූර් රහමන් සහ මොහොමඩ් සයිෆුදීන් කඩුලු 3 බැගින් දවා ගැනිමට සමත් විය.

ලකුණු 322ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 3කදී කඩුලු 3ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.

බංග්ලාදේශය ඉනිමේ පළමු කඩුල්ලට තමීම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් එක්ව ලකුණු 52ක සබඳතාවයක් ගොඩනැගූ අතර දෙවන කඩුල්ලට තමීම් ඉක්බාල් සමඟින් එක් වු ශකිබ් අල් හසන් ලකුණු 69කට සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය.

කෙසේ වෙතත් සිව්වන කඩුල්ලට ශෂිබ් අල් හසන් සමඟින් එක් වු ලිටන් ඩාස් ලකුණු 189ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනගිමින් බංග්ලාදේශය ජයග්‍රහනය කරා ගෙන ගියේය.

එහිදී ශකිබ් අල් හසන් නොදැවී ලකුණු 124ක් සහ ලිටන් ඩාස් නොදැවී ලකුණු 94ක් රැස් කළේය.

මෙම තරගයේදී ලබාගත් ශතකයත් සමග එක්දින තරග 2 කදී පිට පිට ශතක ලබාගත් සිවුවැනි බංග්ලාදේශ පිතිකරුවා බවට පත් වූ ශකීබ්,  ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ බංග්ලාදේශ පිතිකරුවා ලෙසද වාර්තා අතරට එක්විය.

ඒ  අනුව බංග්ලාදේශය ඊයේ ලැබූ මෙම ජයගත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර පස් වන ස්ථානයේ පසු වු ශ්‍රී ලංකාව හයවන ස්ථානය දක්වා පහත බැස තිබේ.