අමිහිරි මතකයක සැමරුමක්
සයුරෙන් එතෙර

අමිහිරි මතකයක සැමරුමක්

June 12, 2019   02:25 pm

ග්‍රෙන්ෆෙල් ව්‍යසනය සිදුවී වසර දෙකක් ගතවීමේ සංවස්තරය ලබන 14වැනිදාට යෙදී ඇත.

අදාළ විපතින් මියගිය පිරිස් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා පසුගියදා අදාළ ගොඩනැගිල්ල හිමි සමාගමට එරෙහිව අමෙරිකාවේ අධිකරණයකදී නඩුවක් ගොනු කෙරුණි.

පුද්ගලයින් 72කුට මරු කැඳවමින් ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ ඇති වූ මාරාන්තික ගින්න සම්බන්ධයෙන් අමෙරිකානු සමාගමකට එරෙහිව නඩු පැවරීමට නීති ආයතනයක් කටයුතු කර ඇත.

ගින්නෙන් මියගිය සහ අගතියට පත් පිරිස් වෙනුවෙන් වූ මෙම නඩුව ගොනුකර ඇත්තේ අමෙරිකාවේ ෆිලඩෙල්ෆියාහි අධිකරණයකදීයි.

ගින්න ඇතිවීමට මුල් වූ ශීතකරණය නිපදවූ ආයතනයට එරෙහිව ඔවුන් මෙසේ නඩු පවරා ඇත.

පිටු 420කින් යුත් අදාල නඩු ලිපිගොනුව මඟින් ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කළ යුතු බව ඉල්ලා සිටියි.

කෙසේ නමුත් වින්දිතයන් වෙනුවනේ කොපමණ වන්දි මුදලක් ඉල්ලා සිටිනවාද යන්න මෙහිදී සඳහන් වී නැත.

2017 වසරේ ජූනි මස 14වැනිදා මහල් 24කින් යුත් ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ ඉහළ මහල්හි ගින්නක් ඇති වූ අතර ඉතාමත් කෙටිකාලයකින් එය ගොඩනැගිල්ල පුරා පැතිරගියේ මිනිස් ජීවිත අමු අමුවේ ගින්නට බිලිදෙමිනි.

විශ්ලේෂකයන්ගේ මතය වූයේ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරව ඉදිකර තිබීම ගින්න මෙතරම් වේගයෙන් පැතිරයාමට හේතුවූ බවයි.

ඉදිකිරීමේ සමාගම් මේ මතය ප්‍රතික්ෂේප කළත්, මෙවැනි ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පවුම් මිලියන 200ක් වෙන් කිරීමට බ්‍රිතාන්‍ය රජය පසුගිය මැයි මාසයේදී කටයුතු කළේය.