ලංගම වැඩ වර්ජනය අසාර්ථකයි-සභාපති

ලංගම වැඩ වර්ජනය අසාර්ථකයි-සභාපති

June 12, 2019   01:44 pm

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගම් සේවකයින් ආරම්භකර ඇති වැඩවර්ජනය මේ වන විට දීපව්‍යප්තව ක්‍රියාත්මක වේ.

එහෙත් ලංකා ගමනාගමන මණ්ඩල සභාපති උපාලි මාරසිංහ මහතා පැවසුවේ සමස්ත ලංගම ඩිපෝ 107න් 32ක පමණක් වැඩවර්ජනය සිදුවන බවයි. 

ඒ අනුව ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගම් සේවකයින් ආරම්භකර ඇති වැඩවර්ජනය අසාර්ථක බව සභාපතිවරයා ප්‍රකාශ කළේය. 

වැටුප් ගැටලුවක් මුල්කරගනිමින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගම් සේවකයින් පසුගිය දින දෙක පුරා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් සිදු කළේය. 

ඊයේ (11) පස්වරුවේ එය අවසන් කෙරුණේ මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමේ අරමුණින්.

ඒ අනුව ලංගම ජාතික සේවක සංගම් සේවකයින් දීප ව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වී තිබේ. 

අද (12) පෙරවරුව වන විටත් ප්‍රධාන නගර රැසක ලංගම බස් රථ වැඩි වශයෙන් ධාවනය නොවන ආකාරයක් දක්නට ලැබුණි. 

කලුතර ,කෑගල්ල ,ගාල්ල ,මාතලේ ,කුරුණෑගල ,නුවර ,කොළඹ සහ මහරගම යන නගර වල ඒ බව දක්නට ලැබේ. 

මේ අතර ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලයේ කොළඹ මධ්‍යම බස් රථ සංකීර්ණයෙන් දිවයිනේ සියලු පළාත් වෙත දෛනිකව ගමන්වාර 1400 ක් සිදුවන අතර අද දිනයේදී ගමන්වාර 1000 කට එය සීමාවී ඇති බව එහි කළමනාකරු අද දෙරණට සදහන් කළේය.  

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩල සභාපති උපාලි මාරසිංහ මහතා පැවසුවේ ජාතික සේවක සංගමය නියෝජනය කරන ලංගම සේවකයින් වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවට ඊයේ වාර්තා වූ තොරතුරු මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම අතිරේක බස් රථ යෙදවීමට ක්‍රියා කළ බවයි. 

ඒ අනූව ප්‍රදේශ කිහිපයක ඩිපෝවල හැර සෙසු සියලු ඩිපෝවල ලංගම බස් රථ ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ.