ස්වයංක්‍රීය බර්ගර් නිපදවීමේ යන්ත්‍රයක්
සයුරෙන් එතෙර

ස්වයංක්‍රීය බර්ගර් නිපදවීමේ යන්ත්‍රයක්

June 12, 2019   11:43 am

ස්වයංක්‍රීයව බර්ගර් නිපදවන යන්ත්‍රයක් ඇති අවන්හලක් පිළිබඳ පුවතක් අමෙරිකාවේ සැන්ෆැන්සිස්කෝ නගරයෙන් වාර්තා වෙයි.

එම ආහාර ඉතාමත් නැවුම් සහ රසවත් බව පාරිභෝගිකයන් පවසයි.

අමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝ නගරයේ ඇති ක්‍රියේටර් නම් අවන්හල මේදිනවල නගරවැසියන් බොහෝදෙනාගේ අවධානය දිනා ඇත.

ඊට හේතුවී ඇත්තේ එහි ඇති ස්වයංක්‍රීයව බර්ගර් නිපදවිය හැකි යන්ත්‍රයයි.

දිවා ආහාරය ලබාගැනීමට මෙම අවන්හල වෙත දෛනිකව විශාල පිරිසක් පැමිණීම සාමාන්‍ය දෙයකි.

ඔවුන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වන බර්ගර් සඳහා මේ කාලයේදී විශාල ඉල්ලුමක් පැවතුණත්, ඉල්ලුමට තරම් ප්‍රමාණවත් සැපයුමක් වේගයෙන් ලබාදීමේ අපහසුතාව හේතුවෙන් නිරන්තරයෙන් එහි දිගු පෝලිම් පවතින බව හිමිකරුවන් පවසයි.

මෙම ස්වයංක්‍රීය බර්ගර් නිපදවීමේ යන්ත්‍රය හඳුන්වාදී ඇත්තේ ඊට විසදුමක් ලෙසයි.

බර්ගර් නියමිත ප්‍රමාණවලින් කපාගැනීම සහ සෝස් පිරවීම යන්ත්‍රය මඟින් පළමුව සිදුවෙයි.

ඉන් අනතුරුව ඊට තක්කාලි, ලූණු සහ ලැටියුස් වැනි පිරවුම් පාරිභෝගිකයාගේ ඉල්ලීම මත පුරවනු ලබයි.

ඉතාමත් කුඩාවට කපාගනු ලැබූ චීස් ඊට එකතු කරන්නේ අවසානයේදීයි.

මේ කිසිදු පියවරකදී කිසිම ආකාරයක මිනිස් මැදිහත්වීමක් සිදුනොවීම මෙම බර්ගර් නිපදවීමේ යන්ත්‍රය සතු විශේෂත්වයයි.

කැපීපෙනන නැවුම් ගතියකින් යුත් මේ බර්ගර් ආහාරය පාරිභෝගිකයන් අතර ඉතාමත් ජනප්‍රිය බවට සඳහන්ය.

එහි වෙනස්ම ආකාරයක රසයක් ද ඇතිබව ඔවුන් පෙන්වා දෙයි.

මේ වනවිට සතියකට දින 3ක් දිවා ආහාර ලබාදෙන කාල සීමාවේදී මෙම යන්ත්‍රය ක්‍රියාත්මක අතර ඉදිරියේදී එහි සේවාව වැඩිදුරටත් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි අදාළ අවන්හල් හිමිකරුවන් පවසයි.