නව උදර්පණ නීතියකට එරෙහිව විරෝධතා
සයුරෙන් එතෙර

නව උදර්පණ නීතියකට එරෙහිව විරෝධතා

June 12, 2019   10:07 am

නව උදර්පණ නීතියකට එරෙහිව සංවිධානය වී ඇති විරෝධතා මාලාවක් හේතුවෙන් හොංකොංහි ජන ජීවිතය අඩාල වී ඇත.

රටේ නීතිය සම්බන්ධයෙන් මැදිහත්වීමට චීනයට අයිතියක් නොමැති බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

හඳුන්වාදීමට නියමිත නව උදර්පණ නීතියකට එරෙහිව පසුගියදා හොංකොං රාජ්‍ය පුරාවට විරෝධතා ආරම්භ වුණි.

එහි තවත් අදියරක් ක්‍රියාත්මක් කරමින් ව්‍යවස්ථාදායක සභාව ඉදිරිපිට රැස්වී දිවා රෑ නොබලමින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් කටයුතු කර ඇත.

යෝජිත නව උදර්පණ නීතිය යටතේ මනුෂ්‍ය ඝාතන සහ ස්ත්‍රී දූෂණය වැනි බරපතළ අපරාධ පිළිබද සැකකරුවන් හොංකොංහි පාලන රාජ්‍යය වන චීනය වෙත යැවීමට නියමිතයි.

එහි පැවැත්වෙන නඩු විභාග අතරතුර වරදකරුවන් සොයා දඬුවම් ලබා දීමටද යෝජනා වී ඇත.

විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ දැඩි චීන නීතිය යටතේ වධහිංසා පැමිණවීම, නීතිවිරෝධී රඳවාගැනීම සහ බලහත්කාරයෙන් වරද පිළිගැනීම වැනි අවනීතීන්ට මුහුණදීමට, වරදක් නොකළ හොංකොං වැසියන්ට පවා සිදුවනු ඇති බවයි.

කෙසේ වෙතත් විරෝධතා නොසලකමින් නව උදර්පණ නීතිය සම්මත කරගැනීමට හොංකොං පාලකයන් කටයුතු කරනු ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

එසේ වුවහොත් හොංකොං පුරා පැතිරයන විරෝධතා තවත් ඇවිලී යනු ඇතැයි මේ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.