ඕස්ට්‍රේලියාවට එරෙහිව ගිය ඉන්දියානුවෝ-ප්‍රසාද ලකුණු සටහනේ තවත් ඉදිරියට

ඕස්ට්‍රේලියාවට එරෙහිව ගිය ඉන්දියානුවෝ-ප්‍රසාද ලකුණු සටහනේ තවත් ඉදිරියට

June 10, 2019   12:09 pm

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ලකුණු 36ක ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන්ට හැකි විය.

ලන්ඩන් නුවර පිහිටි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ දී තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි රෝහිත් ශර්මා සහ ශීකර් ධවාන් පළමු කඩුල්ලට ලකුණු 127ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගුවේ තම නායකයාගේ තීරණයට නිසි සාධාරණය ඉටු කරමින්.

ශර්මා සහ ධවාන් පළමු කඩුල්ල වෙනුවෙන් ශතකයක සබඳතාවක් ගොඩ නැගු 16 වන අවස්ථාව මෙයයි.

ඒ අනුව ලකුණු 57ක් රැස් කරගෙන සිටියදී රෝහිත් ශර්මා දැවි ගිය අතර ඉන්පසු පිටියට එක් වූයේ විරාත් කෝලි.

ඔහු ද ධවාන් සමඟ එක් වෙමින් දෙවන කඩුල්ලට ලකුණු 93ක සබඳතාවක් ගොඩනැගුවේ ඔස්ට්‍රේලියා වේග පන්දු යවන්නන් අසරණ කරමින්.

ඔස්ට්‍රේලියා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාර එල්ල කළ ධවාන් සිය එක්දින ක්‍රිකට් දිවියේ 17 වැනි ශතකය රැස් කිරීමට ඊයේ සමත් වූ අතර ඔහු  ඉන්දීය ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස දැවි ගියේ ඉන්දියාව ලකුණු 301ක් රැස් කරගනිමින් ප්‍රභල ස්ථානයක පසුවන අවස්ථාවකදීයි.

ඔහුගෙන් පසුවද පිටියට පිවිසි පිතිකරුවන් ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් මනාව පාලනය කරගනිමින් විශිෂ්ට ලෙස තම කණ්ඩායමට ලකුණු රැස් කර දීමට සමත් විය.

එම්.එස්. දෝනි ලකුණු 27ක් රැස් කරගෙන සිටියදී දැවි ගිය අතර නායක කෝලි ලකුණු 82ක් රැස් කරගෙන සිටියදී දැවි ගියේය.

හර්දික් පාන්ඩ්‍යා ලකුණු 48යි.

ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවි ලකුණු 352ක් රැස් කළේය.

එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක් වුණේ ලෝක කුසලාන එක්දින තරගාවලියකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඕනෑම කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛයාව ලෙසයි.

ලකුණු 353ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කය හඹා යෑමට ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ ආරොන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර්.

ඔස්ට්‍රේලියා පිලේ ලකුණු පුවරුව 61ක් ලෙස සටහන් වන විට පළමු කඩුල්ල ලෙස නායක ආරොන් ෆින්ච් දැවි ගියා.

ඉන්පසු පිටියට පිවිසි ඔස්ට්‍රේලියා මුල්පෙල පිතිකරුවන් ද කෙමෙන් කෙමෙන් තම කණ්ඩායමට ලකුණු රැස් කිරීමට සමත් විය.

වෝනර් ලකුණු 56ක් රැස් කළ අතර ස්ට්ව් ස්මිත් ලකුණු 69ක් රැස් ක‍ළේය.

ස්මිත්ගේ දැවි යාමෙන් පසු ඔස්ට්‍රේලියා මැද පෙල පිතිකරුවන් අසාර්ථක වු අතර ඕවල් තණ තීරුවෙන් ඉන්දීය පිතිකරුවන්ට ලබා දුන් සහයෝගය ඔස්ට්‍රේලියා පිතිකරුවන්ට හිමි වුණේ නැහැ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 316ක් පමණයි. 

ඉන්දියාව ඊයේ ලැබු මෙම ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.