බංග්ලාදේශයට එරෙහිව එංගලන්තයට විශිෂ්ඨ ජයක්

බංග්ලාදේශයට එරෙහිව එංගලන්තයට විශිෂ්ඨ ජයක්

June 9, 2019   01:03 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ බංග්ලාදේශ අතර කාඩිෆ්හිදී ඊයේ (08) පැවති තරගය ලකුණු 106කින් එංගලන්ත කණ්ඩායම ජය ගත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ඔවුන් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වාර්තා කරමිනි.

එංගලන්තය ඊයේ රැස් කළ එම වාර්තාගත ලකුණු සංඛ්‍යාව 386කි.

තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ නායකයා කාඩිෆ් තණ තීරුවේ පළමුව පන්දුවට පහරදීම සඳහා එංගලන්තයට ආරාධනා කලේය.

ඒ අනුව එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල සඳහා ජොනී බෙයාස්ටෝව් සහ ජේසන් රෝයි එක් ලකුණු 128ක සබඳතාවයක් ගොඩනැගුවේ බංග්ලාදේශ පන්දුවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

අනතුරුව ජේසන් රෝයි සමගින් පිටියේ එක් වු ජෝ රූට් දෙවන කඩුල්ලටද ලකුණු 77ක සබඳතාවයක් ගොඩනැගුවේය.

ජෝ රූට් ලකුණූ 21 කි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් රෝයි හයේ පහර 5ක් සහ හතරේ පහර 14ක් සමඟින් ලකුණු 153ක් රැස් කළේය.

එය එංගලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක රැස්කළ වැඩිම දෙවන ලකුණු සංඛයාවයි.

ලෝක කුසලාන තරගාවලියකදී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කර තිබෙන්නේ හිටපු ක්‍රීඩක ඇන්ඩෘ ස්ට්‍රවුස් වන අතර ඔහු රැස් කල ලකුණු සංඛ්‍යාව 158කි.

අනතුරුව සිව්වන කඩුල්ල සඳහා ජොස් බට්ලර් සමඟින් එක් වු ඔයින් මෝගන් ලකුණු 95ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වු අතර ජොස් බට්ලර් ලකුණු 64යි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 386ක් රැස් කිරීමට සමත් වු එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක් වුණේ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එමෙන්ම කාඩිෆ් හි සොපියා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ එක්දින තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස ද මෙය වාර්තා අතරට එක් වුණි.

ලකුණු 387ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 280ක් පමණයි.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 63කදී බිඳ වැටුණත් තුන්වන කඩුල්ල සඳහා මුෂ්ෆිකර් රහීම් සහ ශකිබ් අල් හසන් ලකුණු 106ක විශිෂ්ට සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණි.

ශකිබ් අල් හසන් පන්දු 119කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 12ක් සමඟින් ලකුණු 121ක් රැස් කළ අතර ඔහුගේ දැවී යාමෙන් පසු කිසිදු බංග්ලාදේශ ක්‍රීඩකයෙකු හට පිටියේ සාර්ථක වීම එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

පන්දු යැවීමේදී ජොෆ්ර් ආචර් සහ බෙන් ස්ටෝක්ස් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුණි.