නවසීලන්ත අගමැතිනිය සිංගප්පූරුවට
සයුරෙන් එතෙර

නවසීලන්ත අගමැතිනිය සිංගප්පූරුවට

May 18, 2019   11:49 am

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණ ඇත.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කෙරෙන ගිවිසුමකට අත්සන් තැබීමට ඇය එහිදී කටයුතු කළාය.

සිංගප්පූරු සංචාරයේ ප්‍රථම දිනයේදී සිංගප්පූරු ජනාධිපති නිල නිවස වන ඉස්තානා මැදුර වෙත පැමිණි අගමැතිවරිය පිළිගැනීම මහත් හරසරින් සිදුවුණි.

එම අවස්ථාවට සිංගප්පූරු අගමැති ලී ෂියන් ලුන් මහතා එක්ව සිටියේය.

අගමැතිවරිය වෙනුවෙන් යුදහමුදා උත්තමාචාරයක් ද එහිදී පවත්වා ඇත.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සිංගප්පූරු අගමැති ලී ෂියන් ලුන් මහතා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේ සිදු වූ අවස්ථාවේදී දෙරට අතර අංශ කිහිපයක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරන හවුල් ගිවිසුමකට අත්සන් තැබුණි.

එමඟින් වෙළඳාම, ආරක්ෂාව, විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍ර ආවරණය වන බව සඳහන්ය.

දිගු කාලයක සිටම නිදහස් වෙළඳ ගිවිසුමකට බැඳී සිටින සිංගප්පූරුව සහ නවසීලන්ත සමීප ආර්ථික සගයින් ලෙස සැලකෙයි.

ඔවුන් එම ගිවිසුම යාවත්කාලීන කරමින් දෙරට අතර ශක්තිමත් වෙළඳ හා ආයෝජන සබඳතා පවත්වාගෙන යන බව විචාරකයින් පෙන්වා දෙයි.

අන්තවාදී මත පැතිරයාම වැළැක්වීම සඳහා ආරම්භ කර ඇති ක්‍රයිස්ට්චර්ච් කෝල් නම් වැඩපිළිවෙල පිළිබඳවත් ඇය සිය සිංගප්පූරු සංචාරය අතරතුර අදහස් පල කළාය.

අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණ ඇත්තේ පළමු වරටයි.

ඇයගේ මෙම සංචාරය  පැරණි මිතුදම් ශක්තිමත් කිරීමට මෙන්ම දෙරට අතර සබඳතා නව මානයකට යොමු කිරීමට ඉවහල් වනු ඇති බව විචාරකයින් පෙන්වා දෙයි.