ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි
සයුරෙන් එතෙර

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹෙයි

May 18, 2019   10:00 am

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට වේලාවෙන් අද(18) උදෑසන 8ට පමණ ඡන්ද විමසීම ආරම්භ වූ බවයි.

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයින් ඉතාමත් උනන්දුවෙන් සිය ඡන්දය භාවිතා කිරීමට එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාලක ලිබරල් සන්ධානය සහ එරට ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන පක්ෂ ද්විත්වය බවට සඳහන්ය.

අගමැති ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත්  මධ්‍ය දක්ෂිනාංශික පාලක ලිබරල් සන්ධානය මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින්නේ තෙවන වරටත් ඔස්ට්‍රේලියාවේ පාලන බලය අපේක්ෂා කරමින්ය.

ඒ අනුව ඔවුන් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේනම් ඔවුන්ගේ ධූර කාලය තවත් වසර 6කින් දීර්ඝ වනු ඇත.

කෙසේ වෙතත් බිල් ෂෝර්ට්න් ගේ නායකත්වයෙන් යුත් වාමාංශික මතධාරී කම්කරු පක්ෂයට මෙවර මැතිවරණයේදී ඔවුන්ට ප්‍රබල අභියෝගයක් වනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙයි.

එම පක්ෂය ජයග්‍රහණය කරන්නේනම් බිල් ෂෝර්ට්න් වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ එරට තුළ බලයට පත්වන සිව්වැනි අගමැතිවරයායි.

ඔස්ට්‍රේලියාව ලෝකයේ ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කර ඇති රටවල් අතුරින් එකක්.

මෙවර ෆෙඩරල් මැතිවරණයේදී ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සුදුසුකම් ලබා ඇති පිරිසෙන් 90%ක් අනිවාර්යයයෙන් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි සැළකෙනවා.

සෙසු රටවල් වලට සාපේක්ෂව මෙය ලෝකයේ ඉහළම අගයක් බවයි විචාරකයින් පෙන්වා දෙයි.

කම්පල්සරි වෝටිං හෙවත් අනිවාර්ය ඡන්ද දැමීම ඔස්ට්‍රේලියානු ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ලක්ෂණයකි.

එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුකම් ලබන සියලුම පුද්ගලයින් අනිවාර්යයෙන් ඡන්දය ප්‍රකාශ කළ යුතු වෙයි.

ප්‍රබල හෝ පිළිගත හැකි සාධාරණ හේතුවක් නොමැතිව එසේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළකින්නේනම් ඔවුන් ඊට දඩ මුදලක් ගෙවිය යුතු බව විදෙස් වාර්තා සඳහන් කළේය.