ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කවුරුන්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කවුරුන්ද?

April 15, 2019   03:56 pm

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට තවත් ඇත්තේ දින 50 ටත් අඩු කාලයකි.

එවන් පසුබිමක ශ්‍රී ලංකා සංචිතය නම් නොකිරීමත්, කණ්ඩායමට තවමත් නායකයෙකු තෝරා පත් කර නොගැනීම සම්බන්ධයෙන් මේවන විට සමාජය තුළ කථිකාවතක් ගොඩනැගී තිබේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන රටවල් 10 මේ වන විට සිය කණ්ඩායම් නම් කරමින් සිටින පසුබිමක ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් තරගාවලියේ සංචිතයද නම් කර නොමැති බව වාර්තා වෙයි. 

ක්‍රීඩකයන්ගේ අස්ථාවරභාවය සහ ඔවුන් මුහුණදුන් ආබාධ නිසා පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකා කණ්ඩාමට එක්දින තරගවලදී කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ද නොහැකි වුණි.

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දුන් 2015 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා එක්දින තරග 84කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 55 ක් පරාජය වී ජයග්‍රහණය කර ඇත්තේ තරග 23ක් පමණයි.

මේ වසරේ ශ්‍රී ලංකාව කිසිදු එක්දින තරගයක් ජය ගැනීමට ද සමත් වූයේ නොමැත.

මේ අතර ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සංවිධාන කළ අතර එහිදී ක්‍රීඩකයන්ගේ දක්ෂතා සතුටුදායක මට්ටමක තිබුණාද යන්න ගැටලු සහගත වුණි.

එමෙන්ම ලෝක කුසලානය වැනි දැවැන්ත තරගාවලියක් අබියස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නිත්‍ය නායකයෙකු නොමැති වීම ද විශාල ගැටලුවක් බවයි ක්‍රීඩා විචාරයන් සඳහන් කරයි.

එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග සහ දිමුත් කරුණාරත්න යන අයගේ නම් මේ වන විට යෝජනා වී තිබේ.

කෙසේ වෙතත් කණ්ඩායමේ නායකත්වයට කවුරුන් පත් වුවද ඔහුට ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම්, දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු නොවනු මානයි.