ගබ්සා තහනම ව්‍යවස්ථා විරෝධි බවට තීන්දුවක්
සයුරෙන් එතෙර

ගබ්සා තහනම ව්‍යවස්ථා විරෝධි බවට තීන්දුවක්

April 12, 2019   11:53 am

දකුණු කොරියාවේ දැනට පවතින ගබ්සා තහනම ව්‍යවස්ථා විරෝධී බව එරට ව්‍යවස්ථාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව ගබ්සා තහනම් නීතිය 2020 වර්ෂය වන විට සංශෝධනය කරන ලෙසද එම අධිකරණය දැනුම් දී ඇතැයි සඳහන්.

1953 වර්ෂයේදී ගෙන එන ලද ගබ්සා නීතියට අනුව දකුණු කොරියානු කාන්තාවන් ගබ්සාවක් සිදු කිරීම සිර දඬුවමකට හෝ දඩ මුදලකට යටත් විය හැකි වරදක්.

එහෙත් ස්ත්‍රී දූෂණයකදී හෝ ගැබිණි කාන්තාවගේ සෞඛ්‍යයට අවධානමක් පවතින අවස්ථාවකදී මෙම නීතිය අදාළ වන්නේ නැහැ.

නීති විරෝධී ලෙස ගබ්සා සිදු කරන වෛද්‍යවරුන්ටද සිර දඬුවම් නියම කිරීමට එම නීතිය යටතේ හැකියි.

ගබ්සාව අපරාධයක් ලෙස සලකන ලොව සංවර්ධිත රටවල් කිහිපය අතරටත් දකුණු කොරියාව ඇතුළත්.

මේ අතර අදාළ නීතිය ව්‍යවස්ථා විරෝධී බවටත් එය ප්‍රතිශෝධනය කරන ලෙසත් පවසා ලබාදුන් අධිකරණ තීන්දුවට ඇතැම් පාර්ශවයන්ගේ විරෝධය එල්ලවී තිබේ.

ව්‍යවස්ථාධිකරණය එම තීන්දුව ලබාදුන්නේ පවතින ගබ්සා නීතිය මගින් කාන්තාවන්ගේ අයිතීන් සීමා වන බවට සහ කාන්තාවන් අනතුරුට පමුණුවන බවට චෝදනා කරමින් වෛද්‍යවරියකගෙන් එල්ලවූ පෙත්සමක් සලකා බලමින්.

ගබ්සා 70ක් සිදු කිරීමේ වරදට අදාළ වෛද්‍යවරියට එරෙහිව නඩු පවරා තිබී ඇති අතර තමාට එල්ලවූ චෝදනාව අභියෝගයට ලක්කරමින් එය ව්‍යවස්ථාධිකරණයට පෙත්සම ඉදිරිපත් කර තිබුණි.