නවසීලන්තයේ දේවස්ථාන 2ක වෙඩි තැබීම් 2ක්-බංගලාදේශ ක්‍රිකට් පිළ අනූනවයෙන් බේරෙයි
සයුරෙන් එතෙර

නවසීලන්තයේ දේවස්ථාන 2ක වෙඩි තැබීම් 2ක්-බංගලාදේශ ක්‍රිකට් පිළ අනූනවයෙන් බේරෙයි

March 15, 2019   08:19 am

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් උදෑසන යාඥා කටයුතු සඳහා රැඳී සිටි නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් නගරයේ අල් නූර් මුස්ලිම් දේවස්ථානය අසළ වෙඩි තැබීමක් සිදුව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් බංග්ලාදේශ කණ්ඩායමේ කිසිවෙකුටවත් හානියක් සිදුනොවුනද ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවය.

මේ අතර එම නගරයේම තවත් මුස්ලිම් දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව ඇති බලධාරීන් ඊට ද ප්‍රතිචාර දක්වමින් පොලිස් කණ්ඩායමක් පිටත් කර හැර ඇති බව වාර්තා වෙයි.

මෙම ප්‍රහාර දෙකෙන්ම සාමන්‍ය වැසියන් හතලිස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්ය.

නවසීලන්ත වේලාවෙන් අද දහවල් 1.40ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

අල් නූර් මුස්ලිම් දේවස්ථානය අසළ වෙඩි තැබීම වාර්තා වීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස් නිලධාරීන් එම ස්ථානයට යෙදවීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ඔවුන් ජනතාවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට අනතුරු අඟවා ඇත.

ප්‍රදේශයේ සියලුම පාසල් සහ රෝහලද වසා දමා ඇති බව ද වාර්තා වෙයි.

අදාළ අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ද අදාළ දේවස්ථානයේ සිට ඇති බවට තොරතුරු වාර්තා වුණි.

කෙසේ වෙතත් ඔවුන්ට මෙම වෙඩි තැබීමෙන් හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නැත.

අදාළ අවස්ථාවේ ජනතාව හිස් ලූ ලූ අත දිවගිය බව සිදුවීම ඇසින් දුටුවන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර අදාළ වෙඩික්කරු විසින්ම එම වෙඩි තැබීම රූගත කිරීමට කටයුතු කර ඇති බවට අනුමාන කරන බව එරට මුලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.