ශ්‍රීලනිපය ගත් තීරණය ගැන විපක්ෂය කණගාටුවෙන්

ශ්‍රීලනිපය ගත් තීරණය ගැන විපක්ෂය කණගාටුවෙන්

March 15, 2019   05:59 am

අයවැය සඳහා ඡන්දය විමසීමේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ගත්ත තීරණය ගැන විපක්ෂය ලෙස කණගාටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසා මහතා පවසයි.

ඊයේ(14) පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ඞජනාධිපති වැය ශීර්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමේදී මන්ත්‍රීවරුන් කියපු විදියට යමක් වෙයිද කියලා අපි බලන් හිටියා. ඒ වගේම පෙරේදා අයවැය දෙවෙනිවර කියැවීමේ  ඡන්ද විමසීමේදී අපි බලාපොරොත්තු වුනා යම් ආකාරයකින් තර්ජනයක් ආන්ඩුවට එල්ල කරන්න හැකිවෙයි කියලා.  නමුත් අයවැය සදහා ඡන්දය විමසීමේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ගත්ත තීරණය ගැන විපක්ෂය ලෙස අපි කණගාටු වෙනවා. 

දවස් 11ට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුනා. අයවැය දෙවැනිවර කියැවීමේදී විපක්සයේ බහුතර ඡන්දයෙන් පරාජය කරන්න ඒ වෙලාවේදී සියලු දෙනා එකගතාවයකට ආවා. 

ඒ වගේම ආන්ඩුවේ පැත්තෙන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන්න උත්සාහ කලොත් ඒ උත්සාහය පරාජය කරන්නත් අපි තිරණය කළා. කණ්ඩායමක් ලෙස ඒ ස්ථාවරයට අපි එකග වෙලා සභා ගැබට ගියා. අවසානයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදි අපි නොසිතූ දෙයක් සිද්ධවුනා. 

එජනිස මහලේකම්වරයා ඇතුලු කණ්ඩායම ඡන්දය ප්‍රකාශ නොකර පාර්ලිමේන්තුවෙන් ඉවත් වුනා. ඒක අපි බලාපොරොත්තු නොවුනු තත්ත්වයක්. එවැනි තත්ත්වයකත් අපි ඡන්ද 76ක් අයවැයට එරෙහිව ප්‍රකාශ කරන්නත් තුනෙන් දෙකේ බහුතරයෙන් අයවැය සම්මත කර ගත්තා කියන අභිමානය නැති කරන්නත් අපිට හැකි වුනා.“