වායු දුෂණය අවම කිරීමට දකුණු කොරියාවේ පනත් කිහිපයක්
සයුරෙන් එතෙර

වායු දුෂණය අවම කිරීමට දකුණු කොරියාවේ පනත් කිහිපයක්

March 14, 2019   03:29 pm

වායු දුෂණය අවම කිරීම සදහා දකුණු කොරියානු පාර්ලිමේන්තුව පනත් කිහිපයක් සම්මත කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට ඔවුන් අදාළ ගැටලුව සමාජ ආපදාවක් ලෙස සළකා කටයුතු කරනු ඇත.

ලොව පුරා සිදුවන වායු දූෂණයට ප්‍රධානතම හේතුවක් වන්නේ ඛනිජ ඉන්ධන දහනය හේතුවෙන් පිටවන කාබන්ඩයොක්සයිඩ් වායුවය.

වත්මන් අවදානම සලකා ඊට පිළියම් ලෙස ලොව පුරා විවිධ රටවල් විසින් විවිධ යෝජනා ඉදිරිපත් කරමින් ඒ සඳහා විසඳුම් නිර්මාණය කරමින් පවතියි.

ඒ අනුව යමින් දකුණු කොරියානු පාර්ලිමේන්තුව පසුගියදා වායු දුෂණයට එරෙහිව සටන් කිරීම සඳහා පනත් කිහිපයක් සම්මත කිරීමට පියවර ගත්තේය.

ආසියාවේ සිව්වෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට වන්නේ දකුණු කොරියාව ය.

කෙසේ වෙතත් පසුගිය වසරවලදී වායු දුෂණය එරටට දැඩි තර්ජනයක්ව පැවතියේය.

ඒ සම්බන්ධයෙන් සම්මත කළ එක් පනතක් මඟින් ගැටලුව සමාජ ආපදාවක් ලෙස හඳුන්වා දී ඇත.

කොරියාවේ වායු දූෂණ මට්ටම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් ගල් අඟුරු තාප බලාගාර සහ කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය හේතු වී ඇති බව පාරිසරික විශේෂඥයින් පෙන්වා දෙනු ලබයි.

මහජනතාවගේ වැඩි අවධානයට ලක් ව ඇති මේ ගැටලුව ජනාධිපති මූන් ජේ ඉන් ගේ ජන ප්‍රසාදය අඩු වීමටද හේතුවක් වුණි.

මේ අතර ගැටළුව ආපදාවක් ලෙස වර්ගීකරණය කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා සංචිත අරමුදල්වලින් මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට රජයට හැකියාව හිමිවෙයි.

මෙහිදී සම්මත වූ සෙසු පනත්වල පාසල් පංතිකාමරවලට වාතය පවිත්‍ර කිරීමේ උපකරණ අනිවාර්ය කිරීම, අඩු වායු විමෝචනයක් සහිත ද්‍රවීකරණය කරන ලද පෙට්‍රෝලියම් වායුව අලෙවිය සඳහා පවතින සීමා ඉවත් කිරීම වැනි නිර්දේශ අන්තර්ගතය.