නයිජිරියාවේ පාසල් ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි-10ක් මරුට
සයුරෙන් එතෙර

නයිජිරියාවේ පාසල් ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි-10ක් මරුට

March 14, 2019   09:39 am

නයිජිරියාවේ ලාගෝස් නගරයේ පාසලක් පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් 10දෙනකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.

ගොඩනැඟිල්ලේ සුන්බුන් අතර බොහෝ පිරිසක් සිරවී සිටිතැයි විශ්වාස කරන බව බලධාරීන් ප්‍රකාශ කළේය.

තට්ටු හතරකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ ඉහළ මහලේ පාසලක් පවත්වාගෙන ගොස් තිබේ.

සිදුවීමත් සමඟ පාසල් සිසුන් 100කට අධික පිරිසක් මුදාගත් බව මුදාගැනීමේ මෙහෙයුවල නිරත නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

සුන්බුන් අතර සිරවී  සිටි සිසුන් 40ක්  පමණ  මුදාගත් ඇති බවද ඔහු පවසා තිබුණි.

සෙසු පිරිස් සෙවීමට මෙහෙයුම්වල නිරත කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දැරූ බව වාර්තා වෙයි.

ගොඩනැඟිල්ල මෙලෙස කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අබලන් තත්ත්වයේ පැවති ගොඩනැගිල්ල කඩා දැමීමට යෝජිතව තිබුණු එකක් බව පැවසෙයි.

මේ අතර කඩාවැටුණු ගොඩනැගිල්ලේ පාසලට හැරුණු විට නිවාස සංකීර්ණයක්ද පිහිටා තිබුණි.

මුදාගැනීමේ මෙහෙයුම්වලදී ප්‍රදේශවාසී පිරිමි සහය ලබාදුන් නමුත් එම ස්ථානයට විශාල පිරිසකගේ පැමිණීමෙන්  ඊට බාධා එල්ල වී තිබුණි.

අදාළ ගොඩනැගිල්ලේ දීර්ඝ කාලයක් පැල්මක් තිබී ඇති  බවත්  ඒ පිළිබඳ පැමිණිලි පවා කර ඇති බවත් ප්‍රදේශවාසීන් ගේ ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.