ජෙරුසෙලමේ දේවස්ථානයක් වසා දැමීම නිසා ගැටුමක්
සයුරෙන් එතෙර

ජෙරුසෙලමේ දේවස්ථානයක් වසා දැමීම නිසා ගැටුමක්

March 13, 2019   12:37 pm

පැරැණි ජෙරුසෙලම නගරයේ පිහිටි වන්දනීය දේවස්ථානයක් වසා දැමීමට බලධාරීන් කටයුතු කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර සුළු ගැටුමක් හටගෙන ඇත.

ගැටුම් අවසානයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමටත් ඊශ්‍රායල් බලධාරීන් කටයුතු කළේය.
    
පැරැණි ජෙරුසෙලමේ පිහිටි අදාළ දේවස්ථානය සමීපයේ සිය හමුදා බැරැක්කයක් වෙත පලස්තීන කැරළිකරුවන් විසින් ගිනි බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට ඊශ්‍රායලය චෝදනා කළේය.

දේවස්ථානය වසා දැමීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

පසුව ඊශ්‍රායල පොලීසිය සහ පලස්තීන වැසියන් අතර ගැටුම් හටගෙන තිබුණි.

කෙසේ වෙතත් ගැටුම්වලින් කිසිවෙකුත් බරපතළ තුවාල ලබා නොමැති බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ගැටුමට මුල් වූ දේවස්ථානය මුස්ලිම් ජාතිකයන් අතර පූජනීය අභයභූමියක් ලෙසින් සැලකෙන අතර යුදෙව්වන් එය සිය කඳුකර දෙවොලක් බව පවසා සිටියි.

1967 වසරේ පැවැති සිවිල් යුද්ධයේදී දේවස්ථානය ඊශ්‍රායලය විසින් අල්ලා ගත්තත්, 2003 වසරේදී එහි බලය නැවතත් පලස්තීනුවන් අතට පත්වුණි.

මේ අතර අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් කළ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා ඇත්තේ, පවතින ගැටුම් වලට හේතුව ඊශ්‍රායලයේ පවතින බල කාමය බවය.