දහතුන් හැවිරිදි තම දැරිය දූෂණය කළ පියාට වසර 60ක සිර දඬුවමක්

දහතුන් හැවිරිදි තම දැරිය දූෂණය කළ පියාට වසර 60ක සිර දඬුවමක්

February 11, 2019   01:47 pm

දහතුන් හැවිරිදි තම බාලවයස්කාර දියණිය ලිංගික අපයෝජනය කිරීමේ නඩු දෙකක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයකුට වසර හැටක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් තිස්දහසක දඩ මුදලක් නියම කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අදාළ පුද්ගලයාට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා විසින් අද(11) මෙම සිර දඬුවම නියම කර තිබේ.

මෙලෙස දඩුවම් නියම වූයේ හුංගම පොලිස් වසමට අයත් බටඅත ළිඳේයාය ප්‍රදේශයේ පදිංචි කළුහපුගේ දිසානායක 57 හැවිරිදි පස් දරු පියෙකි.

මෙම පුද්ගලයා 2015 සහ 2016 වසර වලදී සිය බාලවයස්කාර දියණිය කිහිප වාරයක් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව හුංගම පොලිස් ස්ථානය විසින් නඩු පවරා තිබිණි. 

විත්තිකරුට විරුද්ධව එක් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා තුන බැඟින් චෝදනා හයක් ගොනු කර තිබූ අතර එම චෝදනා සියල්ලම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා වැරැදිකරු විය. 

මෙලෙස වැරැදිකරු වූ එක් චෝදනාවකට බරපතළ වැඩ සහිත වසර දහය බැගින් වසර හැටක සිර දඬුවම සහ එක් චෝදනාවකට රුපියල් පන්දහස බැගින් රුපියල් තිස්දහසක දඬ මුදලක්ද එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට මාස හය බැගින් වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා නියම කළේය.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පෙනී සිටියේය‍.