එක්සත් රටක් සඳහා මැතිවරණයක් පවත්වනු-කැටලෝනියාවේ විරෝධතා
සයුරෙන් එතෙර

එක්සත් රටක් සඳහා මැතිවරණයක් පවත්වනු-කැටලෝනියාවේ විරෝධතා

February 11, 2019   11:55 am

කැටලෝනියානු අර්බුදය අවසන් කිරීම සඳහා ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චිස් කැඳවා ඇති සාකච්ඡාවකට එරෙහිව එරට වැසියන් වීථි බැස ඇත.

එම විරෝධතාව පැවැත්වුණේ මැඩ්රිඩ් අගනුවරදීයි.

කැටලෝනියාව වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරන මෙන් ඉල්ලා ස්පාඤ්ඤ රජයට එල්ලවන පීඩනය අවම කිරීමට අගමැතිවරයා ප්‍රධාන රජය සාකච්ඡාවක් කැඳවා තිබේ.

ඊට විරෝධය පල කරමින් විරුද්ධ පක්ෂ කිහිපයක් සංවිධාන කළ විරෝධතා රැළියක් මැඩ්රිඩ් අගනුවරදී පැවැත් විය.

ඒ සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටි බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අගමැති සැන්චිස්ට එරෙහිව පැවැත්වූ දැවැන්තම විරෝධතාව මෙය බවද සඳහන්.

ප්ලාසා ඩි කොලොන් චතුරස්‍රය විරෝධතාකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා මෙලෙස වාර්තා කර තිබුණේය.

එක්සත් රටක් සඳහා මැතිවරණයක් පවත්වනු යන්න විරෝධතාකරුවන්ගේ ප්‍රධාන සටන් පාඨයයි.

2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිත එරට මහමැතිවරණය ඊට පෙර පවත්වන ලෙසත් විරෝධතාකරුවන් එහිදී ඉල්ලා තිබේ.

කෙසේ නමුත් සටන අවසන් කරමින් යටත් වන ලෙසට විරෝධතාකරුවන් කැටලෝනියානු බෙදුම්වාදීන්ගෙන් කළ ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.