ඉන්දියාවේ මත්පැන් භාවිතය නිසා මියගිය සංඛ්‍යාව 35 දක්වා ඉහළට
සයුරෙන් එතෙර

ඉන්දියාවේ මත්පැන් භාවිතය නිසා මියගිය සංඛ්‍යාව 35 දක්වා ඉහළට

February 10, 2019   01:01 pm

ගත වූ පැය 48ක කාලයක් තුළ උතුරු ඉන්දියාවේ නීති විරෝධී මත්පැන් භාවිතය නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 35දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ උත්තරාඛන්ද් ප්‍රාන්තවල නීතිවිරෝධි මත්පැන් භාවිතය නිසා සිදු වූ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් තිබේ.

කෙසේ වෙතත් එම එක් එක් සිදුවීම් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් නොමැති බව වාර්තා වෙයි. 

මත්පැන් භාවිතයෙන් පසු උදරයේ වේදනාව සහ ශ්වසන අපහසුතා දැනීම හේතුවෙන් බොහෝ දෙනෙකු රෝහල්ගත වී  ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කර තිබුණි.

මෙය ජාවාරමක් විය හැකි බවට පොලීසිය සැක පළකරන අතර ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

රාජකාරිය පැහැර හැරි ඇතැම් නිලධාරීන්ගේ සේවය අත්හිටුවා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

සිදුවීම හේතුවෙන් මියගිය තැනැත්තන්ගේ පවුල්වලට වන්දි ප්‍රදානය කිරීම සඳහා පියවර ගෙන ඇති බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් කියා සිටියේය.

මේ අතර මත්පැන් භාවිතය නිසා පුද්ගලයින්ට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා පිළිබඳව ඉන්දියාවෙන් නිරන්තර වාර්තා වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.