අමෙරිකානු දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් දැයෙන් සමු ගනියි
සයුරෙන් එතෙර

අමෙරිකානු දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් දැයෙන් සමු ගනියි

February 9, 2019   11:23 am

අමෙරිකානු දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වූ ජෝන් ඩින්ගල් අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොංග්‍රසයේ පැරණිම සාමාජිකයා වන්නේද ඔහු බවයි.

1955 වර්ෂයේ සිය පියාගේ අභාවයෙන් පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ජෝන් ඩින්ගල් (John Dingell) අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් විය.

කලක් පිළිකා රෝගයකින් පීඩා විඳ ඇති ඔහු මිචිගන් ප්‍රාන්තයේ පිහිටි සිය නිවසේදී මියගොස් තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දායි.

වසර 59ක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සේවය කළ ජෝන් ඩින්ගල් 2015 වසරේදී විශ්‍රාම ගත්තේය. 

එරට බලශක්ති හා වාණිජ කමිටුවේ සභාපතිවරයා ලෙස  වසර 16ක් සේවය කර ඇති ඔහු එහි  නීති සම්පාදනයෙහිලා මූලික වූ අයෙක් බවට සඳහන්ය.

එමෙන්ම අමෙරිකානු සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන් තුළදීත් ඔහුට විශාල භූමිකාවක් හිමිවිය.  

කෙසේ වෙතත් 1993 වර්ෂයේ දී අනුමත වූ අමෙරිකාව කැනඩාව හා මෙක්සිකෝව යන රටවල් තුනෙන් සමන්විත උතුරු අමෙරිකානු නිදහස් වෙළඳ ගිවිසුමට ඔහු  විරුද්ධ වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.