රටවල් රැසක හිමපතනය ආරම්භ වෙයි
සයුරෙන් එතෙර

රටවල් රැසක හිමපතනය ආරම්භ වෙයි

January 10, 2019   02:23 pm

මේ වන විට යුරෝපයේ රටවල් රැසක වාර්ෂික හිමපතනය ආරම්භ වී තිබේ.

මේ හේතුවෙන් ජර්මනිය, ඔස්ට්‍රියාව වැනි රටවල දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා රැසක් අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජර්මනියේ ප්‍රදේශ රැසකට ලැබෙමින් පවතින අධික හිමපතනය හේතුවෙන් ප්‍රවාහන සේවාවලට බාධා මතුවී තිබේ.

හිම වලින් මාර්ග අවහිරවී තිබීම නිසා දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමටත් එරට බලධාරීන්ට සිදුව තිබුණි.

එරට වැසියන් පවසන්නේ පසුගිය වසර වලට සාපේක්ෂව මේ වසරේ අධික හිමපතනයක් ලැබෙමින් පවතින බවයි.

තවත් යුරෝපීය රටක් වන ඔස්ට්‍රියාවටත් මෙවැනිම හිමපතනයක් ලැබෙමින් පවතියි.

එරට ඇතැම් ප්‍රදේශවල නිවාස සහ රථවාහන හිමෙන් වැසී ගොස් ඇති ආකාරයත් දක්නට ලැබෙයි.

දැඩි හිමපතනය හේතුවෙන් මධ්‍යම ඔස්ට්‍රියාවේ හිමකදු කඩාවැටීමේ අවධානමක්ද මතුව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.