කෂෝගී ඝාතන චෝදනාවලින් පසු සල්මාන් කුමරු පළමුවරට අප්‍රිකාවේ සංචාරයක
සයුරෙන් එතෙර

කෂෝගී ඝාතන චෝදනාවලින් පසු සල්මාන් කුමරු පළමුවරට අප්‍රිකාවේ සංචාරයක

December 3, 2018   02:19 pm

සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අප්‍රිකානු කලාපයේ සංචාරයක නිරතව තිබේ.

කෂෝගි ඝාතනය සම්බන්ධව චෝදනා එල්ල වීමෙන් පසුව කුමරු මැදපෙරදිග කලාපයේ රටවලින් බැහැරව විදෙස් රටක සිදුකරන පළමු නිල සංචාරය මෙයයි.

සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන්  කුමරු සංචාරයක් සඳහා උතුරු අප්‍රිකානු රටක් වන ඇල්ජීරියාවට පැමිණ තිබේ.

ඇල්ජීරියාවට පැමිණීමට පෙර ඔහු  මොරිටේනියා රාජ්‍යයේත් සංචාරයක නියැළුණි.

ආර්ජන්ටිනාවේ පැවති ජී 20 සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවයි ඔහු මෙම සංචාරය ආරම්භ කළේය.

ඇල්ජීරියා අගනුවර සෞදි කුමරු පිළිගැනීමේ අවස්ථාවට ඇල්ජීරියා අග්‍රාමාත්‍යවරයාද එක්ව සිටියේය.

ලොව  ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් අපනයනකරුවකු ලෙස සෞදි අරාබිය සැළකෙයි.

එරට කිරුළේ මීළඟ උරුමකරු වන සල්මාන් කුමරු ආර්ජන්ටිනා සංචාරයට පෙර එක්සත් අරාබි එමීරය බහරේන් ඊජිප්තුව සහ ටියුනීසියාව යන රටවල සංචාරය කළේය.

ඇල්ජීරියාවට පැමිණෙන අතරවාරයේ සිය නැවතුම වූ මොරිටේනියා  රාජ්‍යයේ විශාල රෝහලක් ඉදිකරන බවට  සෞදි කුමරු ප්‍රතිඥා දී ඇති බව සඳහන් වෙයි.

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළ මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතන සිදුවීම කරලියට පැමිණීමෙන් පසුව  සෞදි කුමරු මැදපෙරදිග කලාපයේ රටවල්වලින් බැහැරව විදෙස් රටක සිදුකරන පළමු සංචාරය මෙයයි.

එම ඝාතනය සෞදි අරාබිය සහ බටහිර රටවල් අතර සබඳතා පළුදු කිරීමට හේතු වූ බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වෙයි.