ඉන්දියාව පරදා සිංහයින් 20-20 ලෝක කුසලානය ජය ගනී

ඉන්දියාව පරදා සිංහයින් 20-20 ලෝක කුසලානය ජය ගනී

December 1, 2018   03:18 pm

පළමු වරට පැවැති ශ්‍රව්‍යාබාධිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා  ගැනීමට ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධීත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(30) සමත් විය.

සත්කාරක ඉන්දීය කණ්ඩායම අවසන් තරගයේ පරාජය කරමින් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නේපාලය නියෝජනය කරමින් ශ්‍රව්‍යබාධිත කණ්ඩායම් සහභාගි විය.

ඒ අනුව පැවැති තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 145ක් රැස් කළ අතර ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 109ක් පමණයි.

ඒ අනුව ලකුණු 36 කින් අවසන් තරග ජය ගත් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම  පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තාය.

එම  ලෝක ශූරයින් අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් දිවයිනට පැමිණි අතර ලෝක ශූරයින් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් විය.