සර් ජනාධිපතිතුමා අරවගේ කතාවක් කළේ ඇයි
October 16, 2016
ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව පසුගිය අඟහරුවාදා ජනාපධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වුණා. ඊට අගමැතිවරයා සමග වජිර අබේවර්ධන, කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක සහ විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරු එක්ව සිටියා.
ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා සහ එස්.බී. දිසානායක යන ඇමතිවරුන් සම්බන්ධ වුණා.
අමාත්‍යවරුන් ඉතාම සීමිත පිරිසකට පමණක් ඇරයුම් ලද මේ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අල්ලස් කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවල ක්‍රියාකලාපය දරුණු ලෙස විවේචනය කළා.
´´මේ ආයතන මට නම් දැනෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව වැඩ කරනවා කියලයි. තෝරු මෝරු ඉඳිද්දී හාල්මැස්සන් පස්සේ පන්නනවා. මගෙත් එක්ක ඉන්න ඇමතිවරුන්ට නඩු දානවා. මම විධායක ජනාධිපති, නිකමටවත් දැනුවත් කරන්නේ නෑ. අනික ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය කාලයේ ගත්ත තීරණවලට හිටපු හමුදාපතිවරුන් පලි නැහැ. රණවිරුවන් දඩයම් කරනවා කියලා මිනිස්සු බනින්නේ මට. අඩුම තරමින් නීතිපතිගෙන්වත් උපදෙස් අරගෙන නැහැ. මට මේ විදිහට තවදුරටත් යන්න ඉඩදීලා බලාගෙන ඉන්න බැහැ."
ජනාධිපති ඉතා ආවේගයෙන් කළ කතාවට සවන්දුන් අගමැතිවරයා උත්තර දුන්නා.
"ජනාධිපතිතුමා ඉදිරිපත් කරන කාරණය ඉතා බරපතළයි. නිලධාරීන්ගෙන් වගකීමක් ජනාධිපතිතුමා දැනුවත් කරන එක."
අගමැතිවරයාත් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන එහෙම කතා කරද්දී අනෙකුත් ඇමතිවරුන් ඇතැම් නඩුවල කිසිදු පදනමක් නැති බවට කරුණු පැහැදිලි කළා.
අමාත්‍යවරුන් දැනුවත් කිරීමෙන් නොනැවතුණු ජනාධිපතිවරයා පසුදින අභ්‍යන්තර අර්බුදය ගැන රණවිරුවන්ට නිවාස ඔප්පු ප්රදානය කිරීමේ උත්සවයේදී ප්‍රකාශ කළා.
ජනපතිගේ කතාවෙන් කලබල වූ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් පසුදින අගමැතිවරයා හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණියා.
"මොකෝ මේ කට්ටිය පිරිලා"
"සර් ජනාධිපතිතුමා අරවගේ කතාවක් කළේ ඇයි කියලා දැනගන්න ඇමතිවරු ඇවිත් ඉන්නේ" ඇමති කිරිඇල්ල පැහැදිලි කළා.
´´ඒ කතාවට හේතුව මට නම් තේරෙන්නේ නෑ. මටත් එතුමාගෙන්ම තමන් දැනගන්න වෙන්නේ"
"ඒ වුණාට සර් ජනාධිපතිතුමාගේ කතාවෙන් විපක්ෂයේ හොර නඩය හොඳටම ෆෝම්වෙලා" දයා ගමගේ පැහැදිලි කළා.
"මේ ආයතනවලට දේශපාලනය අනුව වැඩ කරන්න මමවත් ජනාධිපතිතුමාවත් උපදෙස් දීලා නැහැ. මේවට ඇඟිලි ගහන්න අවශ්‍ය කණ්ඩායමක් ඉන්නවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මම මේ ගැන ජනාධිපතිතුමත් සමග කතා කරනවා"
අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට පොරොන්දු වුණා.