Back to Top

සැබෑ මනුෂ්‍යයෝ කිසි දිනෙක නොමියෙති!

September 1, 2016  




මනුෂ්‍යත්වය පැමිණෙන්නේ ආගම් භේදයකින් තොරවය. ඔබ බෞද්ධයෙකු වුවත්, මුසල්මානුවෙකු වුවත්, කතෝලිකයෙකු වුවත්, හින්දු ආගම අදහන්නෙකු වුවත්, ඒ සියල්ලටම ප්‍රථම ඔබට “මනුෂ්‍යයෙකු“ වී සිටින්නට නොහැකි නම්, ඔබ අදහන ආගමෙන් ඵලක් නොමැත. ඒ මනුෂ්‍යත්වයට ඉහළින් යන කිසිදු ආගමක් මෙලොවෙහි නැති හෙයිනි.



බංග්ලාදේශයේ අගනගරය වන ඩකාහි පොලීසිය හා නාදුනන කණ්ඩායමක් අතර වෙඩි හුවමාරුවක් සිදුවුණි. ඒ පසුගිය ජූලි මස පළමුවැනි(01) සිකුරාදා දිනකය.



එහිදී 6 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30ට පමණ තුවාල සිදු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



බංගලාදේශයේ, ඩකා අගනුවර විදේශ තානාපති සේවකයින් වැඩි වශයෙන් ගැවසෙන ආරක්ෂිත කලාපයක පිහිටි  Holey Artisan Bakery cafe අවන්හලට ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කළේය.



 ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් වූ මොවුන් විසින් එදින රාත්‍රී 9ට පමණ   Holey Artisan Bakery cafe හි රැඳී සිටි විදේශිකයන් ඇතුළු පිරිසක් ප්‍රාණ ඇපයටද ගත්තේය.



අමෙරිකා එක්සත් ජනපදයේ ඉගෙනුම ලබමින් සිට නිවාඩුවක් ගත කරනු පිණිස මැයි මස 18 වන දින බංග්ලාදේශයට පැමිණ සිටි ෆරාස් හොසේන් Faraaz Hossein නම් 20 හැවිරිදි තරුණයා ඒ මොහොතේ ඒ අවන්හලේ රැඳී සිටියේ මිතුරියන් දෙදෙනෙකුද සමඟයි.



ඒ  අවස්ථාවේ තුවක්කු හා තියුණු අවි රැගෙන අවන්හල තුළට කඩා වැදුණු ත්‍රස්තවාදීන් හිජාබයෙන් සැරසී සිටි කාන්තාවන් සහ මුසල්මානු පුරුෂයන්ට දිවි ගලවාගෙන අවන්හලෙන් පිටතට යාමේ අවස්ථාව ලබා දුන් අතර අනෙක් පිරිස ප්‍රාණ ඇපයට ගත්තේය.



කුරානයේ ඇති පාඨයක් මතකයෙන් කීමට හැකි පුද්ගලයින්ව නිදහස් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණි. එම පිරිසට ෆරාස් ද ඇතුළත් විය.එහෙත් තම මිතුරියන් දෙදෙනා අවන්හල තුළ දමා යාමට අකමැතිවූ ඔහු ඔවුන්ගේ ජීවිත ද ගලවා දෙන මෙන් ත්‍රස්තවාදීන්ගෙන් අයැද සිටියේය.



ඉස්ලාම් බැතිමතෙකු වූ නිසා එසේ නිදහස් වීමේ අවස්ථාව ෆරාස්ට පහසුවෙන් හිමි වී ඇති නමුත් ඔහු සමඟ සිටි අනෙක් මිතුරියන් දෙදෙනාට එම අවස්ථාව අහිමි වී ඇත. ෆරාස් මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී තමන්ට නිදහස ලැබුණද තම මිතුරියන් කුරානයේ පාඨය නොදන්නා බැවින් මරා දමන බව පවසා ඇත.



එමෙන්ම තරිෂි සහ අභින්තා දෙදෙනාම ඉස්ලාම් අනුගාමිකයන් නොවීම සහ “බටහිර ඇඳුම් පැළඳුම්“ වලින් සැරසී සිටීම යන කාරණා නිසා ඔවුන්ට ජීවිත දානය දීම ත්‍රස්තවාදීන් විසින් තවදුරටත් ප්‍රතික්ෂේප කරනු ලැබීය.



තමන්ට ජීවිත දානය හිමි වුවද එයට අභීතව මුහුණ දුන්  Faraaz කියා ඇත්තේ ඔවුන් නිදහස් නොකරන්නේ නම් තමාවද මරා දමන ලෙසයි. ඒ කිවූ ලෙසම ත්‍රස්තයන් ඔවුන් තිදෙනාම මරා දැමීමට කිසිදු තැකීමක් කළේ නැත.



ජීවිතය බේරාගෙන ගැලවී යාමට වරම ලැබී තිබුණද මිතුරියන් දෙදෙනා තනිකර යාමට ෆරාස් කැමති වූවේ නැත. ඉතින් පසුවදා උදෑසන තියුණු අවිවලින් කපා කොටා ඝාතනය කර තිබූ ඔහුගේ සිරුර තරිෂිගේ හා අභින්තාගේ සිරුරු අසලම තිබී බංග්ලාදේශ හමුදාව විසින් සොයා ගන්නා ලදී.



සිකුරාදා රාත්‍රිය පුරාමත් සෙනසුරාදා උදේ වරුවේත් ගලවාගැනීමේ මෙහෙයුම අතරතුරදී ත්‍රස්තවාදීන් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ඇතුළුව 20 දෙනෙකු මරා දමන ලදී. ඉතාලි ජාතිකයන් 9 දෙනෙකු, ජපාන් ජාතිකයන් 7 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු, ඇමරිකානු ජාතිකයෙකු හා ඉන්දියන් ජාතිකයෙකු ඒ අතර විය.

මේ නිසා ෆරාස් ගැන දැන් ලෝකයම කතා කරයි.



විදෙස් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරමින් සිට නිවාඩුවක් සඳහා බංගලිදේශයට පැමිණී සිටි ෆරාස් හුසේන් අගෝස්තුවේ නැවත අමෙරිකාව බලා යාමට නියමිතව තිබුණ අතර මෙම අනපේක්ෂිත සිද්ධිය නිසා ඔහු ජීවිතයෙන් සමු ගත්තේය.

ෆරාස් හොසේන්, කිසිදා නොදුටු, ඔබේ මරණයට පෙර කිසිදා නම අසා නොතිබුණ මගේ මිත්‍රයා, ඔබ සැබෑ මිතුරෙකු හා “මනුෂ්‍යයෙකි“ ඔබ වැනි “මනුෂ්‍යයන්“ කිසිදාක “මිය යන්නේ“ නැත!

අනුවාදයකි








MOST VIEWED VIDEO STORIES

MORE >>